Saturday, February 12, 2011

අති පුජ්‍ය පිටිගල ගුණරතන ස්වාමින් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ සබ්බාසව සුත්‍ර පැහැදිලි කිරීම - පළමුවන කොටස.


සද්ධර්මශ්‍රවනාභිලෂි ගුණගරුක කාරුණික පින්වත්නි, කාර්යබහුල ජීවිත ගතකරන මේ හැම කෙනෙක්ම ජිවිතයේ මොහොතක් නමුත් සද්ධර්මය වෙනුවෙන් වැයකරන්න කැපකරන්න මේ ගතනකරන කලපරිච්චේදය බොහොම වටිනවා. කවදාහරි දවසක මේ සංසාර දුක නිමකරන ඒ අමා ශාන්තිය ලබන්න පුළුවන් වෙන්නේ තථාගත සද්ධර්මයෙන්මයි. ඒ තථාගත සර්ධර්මයට සවන්දිමෙන්මයි ඒ අමාදොර විවර කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. එනිසා මේ පින්වතුන් මේ මොහොත ගතකරන්නේ ඒ අම ද්වාරය  ලඟයි. බුදුරජානන්වහන්සේ අපි හැමදෙනාටම ඒ අමා ද්වාරය විවර කරගෙන නිවන් පුරට වඩින්නට දේශනා කල වටිනාම සුත්‍ර ධර්මයයි අපි අද දවසේ මාතෘකාව වශයෙන් තබාගන ඉඩ ලැබෙන ලැබෙන කාලවේලාව අනුව ඒ දේශනා ධර්මය පැහැදිලි කරලා දෙන්නට උත්සාහවත් වෙන්නේ.

පින්වතුනි, ලොවුතුරා බුදුරජානන් වහන්සේ එදා සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න අවදියේ එක්තරා දවසක භික්ෂුන්වහන්සේලා අමතනවා උන්වහන්සේලා බුදුරජාණන් වහන්සේට දෑත් ඔසවා ඇඟිලි බැඳගෙන නමස්කාර කරගෙනම උන්වහන්සේට සවන්දෙනවා. මේ වෙලාවේදි උන්වගන්සේ භික්ෂුන් වහන්සේලාගේ නිහඬතාවය දැක උන්වහන්සේලාට කතාකරල කියනවා මහණෙනි, මම අද නුඹලාට සියලු ආශ්‍රව ක්ෂය කරන සියලු ආශ්‍රව නැති කරන ප්‍රතිපදාව දේශනා කරනවා. හොඳින් සවන් දෙන්න ඕනෙ. ඒ අනුව සිහි කරන්න මෙනෙහි කරන්න ඕනේ. මෙසේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට ආමන්ත්‍රණය කරමින් උන්වහන්සේ සබ්බාසව සුත්‍රය ආරම්භ කලා මේ උතුම් සදහම් දේශනාව.

ඒ දේශනාව තුල උන්වහන්සේ ආරම්භයේදීම මතක් කරනවා “ජානතෝ අහං භික්ඛවේ පස්සතෝ ආසවානං කයං   වදාමි නොඅජානතෝ නොඅපස්සතෝ කිංචි භික්ඛවේ ජානතෝ කිං පස්සතෝ යෝනිසොචමනසිකාරන් අයෝනිසොචමනසිකාරන්” මහණෙනි මේ යෝනිසෝමනසිකාරයත් අයෝනිසෝ මනසිකාරයත් යන දෙක ජානතෝ පස්සතෝ දන්න කෙනාම දකින කෙනාම ආශ්‍රව ධර්මයන්ගේ ක්ෂයවීම කරන්නේය, ක්ෂය කරන්නේය. යමෙකු යෝනිසෝ මනසිකාරයත් අයෝනිසෝ  මනසිකාරයත් නොදන්නේද නොදක්නේද එබඳු කෙනෙකුට මේ ආශ්‍රවයන්ගේ ක්‍ෂයවීමක් මා නොකියමි. දැන් බුදුරජාණන් වහන්සේ පළමු කොටම අවධාරණය කල තැනක් තියෙනවා. යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ  මනසිකාරය දන්න කෙනාමයි දකින කෙනාමයි සියලු ආශ්‍රව ක්‍ෂය කරන්නේ.යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ  මනසිකාරය නොදන්න කෙනා නොදකින කෙනා ආශ්‍රවයන්ගේ ක්‍ෂය කිරීමක් කරන්නේ නැහැ. එය උන් වහන්සේ  තවදුරටත් අවධාරනය කරනවා “අයෝනිසෝ භික්ඛවේ මනසිකරෝතෝ” අයෝනිසෝ මනසිකාරයෙන් යුක්ත කෙනා නුනුවනින් මෙනෙහි කරන නිසා “අනුප්පන්නාචේව ආසවා උප්පජ්ජන්ති” නූපන් ආශ්‍රව කෙලෙස්  උපදිනවා එයාට “උප්පන්නාච ආසවා පවඩ්ඩන්ති" උපන් ආශ්‍රව වැඩෙනවා. අයෝනිසෝ මනසිකාරය භාවිතා කලොත් නූපන් ආශ්‍රව කෙලෙස් උපදිනවා උපන් ආශ්‍රව කෙලෙස් වැඩි දියුණු වෙනවා. “යෝනිසෝචකෝ  භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නචේව අසවා න උප්පජ්ජන්ති උප්පන්නාච අසවා පහීයන්තී”. යෝනිසෝමනසිකාරය භාවිතා කිරීමෙන් නූපන් ආශ්‍රව නූපදිනවා උපන් ආශ්‍රව ක්ලේශයෝ ප්‍රහින වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ නුපන් ආශ්‍රව නුපදින්නත් උපන් ආශ්‍රව දුරුවෙන්නත් දේශනා කලේ යෝනිසෝ මනසිකාරය හා අයෝනිසෝ මනසිකාරයයි.

පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාව තුල ඇති අදහස ටිකක් ගැඹුරින් විමසා බලන්න වටිනවා. උන්වහන්සේ මෙහිදී යෝනිසෝමනසිකාරය අයෝනිසෝමනසිකාරය භාවිතාව පෙන්නුවේ අයෝනිසෝමනසිකාරය භාවිතා  කිරීමෙන් නුපන් ආශ්‍රව උපදිනවා උපන් ආශ්‍රව වැඩෙනවා. එතන යෝනිසෝමනසිකාරයට පෙන්වන්නේ නුපන් ආශ්‍රව නුපදින උපන් ආශ්‍රවය දුරු කරන වැඩපිළිවෙල. හැබැයි එතන පෙන්වල නැහැ නුපන් කුසලය උපදවන උපන් කුසලය වැඩෙන තැන. මෙහි මේ සුත්‍රයෙහි එන ඉදිරි කරුණු ටික විමසා බලනකොට අපට ඒ පිළිබඳව යම් අවබෝධයක් ලබගන්නට පුළුවන් වෙයි.

ඊළඟට බුදුරජානන්වහන්සේ මෙන්න මේ කියන යෝනිසෝමනසිකාරය පවත්වාගතයුතු ස්ථාන හතක් වැඩපිළිවෙලවල් හතක් ගැන දේශනා කරනවා.
        “අත්තිභික්ඛවේ ආසවා දස්සනා පහා  තබ්බා
         අත්තිආසවා සංවරා පහා තබ්බා
         අත්තිආසවා පටිසේවනා පහා තබ්බා
         අත්තිආසවා අධිවාසනා  පහා  තබ්බා
         අත්තිආසවා පරිවජ්ජනා  පහා  තබ්බා
         අත්තිආසවා විනෝදනා  පහා  තබ්බා
         අත්තිආසවා භාවනා  පහා  තබ්බාති “
මහණෙනි, දර්ශනයෙන් පහකලයුතු ආශ්‍රව තිබෙනවා. සංවරයෙන් පහකලයුතු ආශ්‍රව තියෙනවා. ප්‍රත්‍යවෙක්ශාවෙන් පහකලයුතු, දුරුකලයුතු ආශ්‍රව කෙලෙස තියෙනවා. ඉවසීමෙන් දුරුකලයුතු ආශ්‍රව කෙලෙස තියෙනව .පරිවජ්ජනයෙන් දුරුකලයුතු ආශ්‍රව කෙලෙස් තියෙනවා. විනොදනයෙන් වීර්යයෙන් දුරුකලයුතු ආශ්‍රව කෙලෙස් තියෙනවා. භාවනාවෙන් දුරුකලයුතු ආශ්‍රව කෙලෙස් තියෙනවා. දැන් උන්වහන්සේ ආශ්‍රව කෙලෙස් දුරුකිරීම සඳහා වැඩ පිළිවෙලක් දේශනා කරනවා. දර්ශනයෙන්, සංවරයෙන්, ප්‍රත්යවෙක්ශාවෙන්, ඉවසීමෙන් , පරිවජ්ජනයෙන්, විනොදනයෙන්, භාවනාවෙන්.දැන් ආශ්‍රව ක්ලේශ දුරුකරන්න දේශනා කල සමස්ථ වැඩපිළිවෙල. මේ තුල අන්තර්ගත වෙලා තියෙන්නේ ශිල, සමාධි, ප්‍රඥා ත්‍රිශික්ෂා මාර්ගය. දැන් අපි මෙතැනදී අදහසක් මතුවෙනවා අද වර්තමාන ලෝකයේ අපි හුඟක් දෙනෙක් ආශ්‍රව කෙලෙස් දුරු කරන්න තෝරාගන්නේ මෙයින් එකයි. ඒ භාවනා පහා තබ්බා. අපි හමොමකරන්නේ නිවන් දකින්න ආශ්‍රව කෙලෙස් නසන්න  භාවනා කරනවා. හැබැයි මේ නිවන් මගේදී බුදුරජාණන්වහන්සේ ඒක දේශනා කලේ හත වෙනි තැනට. පලවෙනි තැනට නෙවෙයි. පලවෙනි තැනට උන්වහන්සේ දේශනා කලේ දස්සනා පහා තබ්බා. දර්ශනයෙන් පහකලයුතු ආශ්‍රව දර්ශනයෙන් පහකළ යුතුයි. ඒක සංවරයෙන් අධිවාසනයෙන් භාවනාවෙන් කරන්න බැහැ. සංවරයෙන් පහකලයුතු ආශ්‍රව දර්ශනයෙන් භාවනාවෙන් අධිවාසනයෙන් පරිවජ්ජනයෙන් බැහැ. ප්‍රත්යවෙක්ෂාවෙන් දුරුකලයුතු ආශ්‍රව ප්‍රත්යවෙක්ෂාවෙන් මිස දර්ශනයෙන් සංවරයෙන් භාවනාවෙන් බැහැ.ඉවසිඉමෙන් දුරුකලයුතු ආශ්‍රව කෙලෙස් ඉවසීමෙන්ම මිස දර්ශනයෙන් සංවරයෙන් භාවනාවෙන්  විනෝදනයෙන් බැහැ. පරිවජ්ජනයෙන් දුරුකලයුතු ආශ්‍රව පරිවජ්ජනයෙන්ම දුරුකළ යුතුයි. වෙන විදිහකින් බැහැ. විනෝදනයෙන් වීර්යයෙන් දුරුකලයුතු කෙලෙස් විර්යයෙන්ම මිස වෙන විදිහකින් බැහැ. භාවනාවෙන් දුරුකලයුතු ආශ්‍රව කෙලෙස් භාවනාවෙන්මයි දුරුකළ යුත්තේ. ඉතින් බුදුරජාණන්වහන්සේ භාවනා පහා තබ්බා කියන තැන මේ සුත්‍රයේ දක්වල තියෙන්නේ බෝජ්ජංග ධර්ම හැටියට. බෝජ්ජංග ධර්ම වඩන එකටයි මේ සම්බුදු දහමේ භාවනාව කියන කොටස පනවල තියෙන්නේ. අද දවසේ වර්තමානයේ අපි භාවනා කියන හැම කොටසක්ම අයිති වෙන්නේ බොහෝ වෙලාවට අපිට හිතෙන විදිහට මේ විනෝදනා පහ තබ්බා කියන තැනට වෙන්න පුළුවන්. උපන් උපන් අකුසල් යටපත්කරන වැඩපිළිවෙල.

ඊළඟට තියෙන්නේ දස්සනා පහා තබ්බා කියන තැන. දර්ශන භුමිය. මේ සුත්‍රය ගත්තහම මේ ආශ්‍රව ක්‍ෂය කිරීමේ ප්‍රතිපදාවේදී දක්වන්නේ කාම ආසව, භව ආසව, අවිජ්ජා ආසව.මේකේ දිට්ටාසවය දක්වන්නේ නැහැ. ඇයි ඒ? අපි ආශ්‍රව ගැන කතා කරනකොට කාම ආසව, භව ආසව, දිට්ටාසව, අවිජ්ජා ආසව කියල ආසව හතරක් ගැන කතා කරනවා. සබ්බාසව සුත්‍රයේදී ආශ්‍රව තුනයි. දිට්ටාසවය ඉවත්වෙලා. ඒකට හේතුවක් තියෙනවා. මේ සාසනයේ ආරම්භය වෙන්නේ දර්ශන භුමිය. දස්සනා පහා තබ්බා කියන තැනට එනකොට දර්ශන භූමියට එනවා කියනකොට එතන දිට්ටාසවය දුරුවෙලා. සක්ඛාය දෘෂ්ටිය දුරුවෙලා. මාර්ගයට ආපු කෙනාට නැතිකරන්න තියෙන්නේ කාම ඇසුරු, භව, අවිජ්ජා ආශ්‍රව. ආශ්‍රව කියන වචනයට දෙන්න පුළුවන් සරලම අර්ථය “පෙර ඇසුර” කියන එක. වර්තමානයට අපි හැමතිස්සේම එකතුකරගන්නේ පෙර ඇසුර. අපි හැමතිස්සෙම අනාගතයට යනවා නෙවෙයි. අපි හැමතිස්සේම යන්නේ අතීතයටමයි. වර්තමානයේ ගැටෙනකොට අපි අතිතයමයි සිහි කරගන්නේ. සිහිකලදේමයි දැනගන්නේ. දර්ශනය කියල කියන්නේ මෙන්න මේ යථාර්තය කියල දෙන තැන. දිට්ටාවාසය දුරු කරන තැන. එතනට එනකොට මෙන්න මේ ටික සිද්ධවෙලා තියෙන්නේ ඕනේ.
        “ ඉධං දුක්ඛන්ති යෝනිසෝ මනසිකරෝති
          අයං දුක්ඛසමුදයෝති  යෝනිසෝ මනසිකරෝති
          අයං දුක්ඛනිරෝධෝති යෝනිසෝ මනසිකරෝති
          අයං දුක්ඛනිරෝධගාමිණීපටිපදාති යෝනිසෝ මනසිකරෝති “
මෙන්න මේ වැඩපිළිවෙල තුල දර්ශන භුමියට එනකොට අපිට හමුවෙලා තියෙන්නට ඕනේ දුකයි, සමුදයයි, නිරෝධයයි, මාර්ගයයි. චතුරාර්ය සත්‍යය පිලිබඳ දැනුමක් ලැබිල තියෙන්න ඕනේ. චතුරාර්ය සත්‍යය පිළිබඳව දැනුම ලැබුන කියන්නේ සම්මා දිට්ටිය උපන්නා. සම දිට්ටිය උපන්න කියන්නේ ලෝකෝත්තර මාර්ගය උපන්නා. සම්මා දිට්ටිය කිව්වේ කුමක්ද? “දුක්ඛේ ඥානං , දුක්ඛ සමුදයේ ඥානං, දුක්ඛ නිරෝධයේ ඥානං, දුක්ඛනිරෝධගාමිණීපටිපදාය  ඥානං, ඉධං උච්චති සම්මා දිට්ටි “. සම්මා දිට්ටිය කියල කිවුවේ මේ හතරේම නුවනට. එකක නුවනට නෙවෙයි. මේ නුවන හතරම එකතු කරලයි සම්මා දිට්ටිය කියන්නේ. මේ සතර දැනුමම එකතුවෙන්න ඕනේ සම්මා දිට්ටියට. දැන් අපි දර්ශන භූමියට එනවා කියනකොට මේ සතර දැනුමම එකතු කරගත්ත තැනක් අපිට ලැබෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට ප්‍රතිපදාවක් කියල එකක් හම්බවෙන්නේ නැහැ. ආශ්‍රව දුරුකරන ප්‍රතිපදාව හම්බවෙනේ නැහැ. දැන් බුදුරජාණන්වහන්සේ මේ දේශනාව කරන්නේ කාම ආසව භව ආසව අවිජ්ජා ආසව දුරුකිරීම සඳහා.ඒ ආශ්‍රව දුරුකරන ප්‍රතිපදාව අපි උපදවා ගන්න ඕනේ. එය උපදවා ගත්තොත් තමයි ඒ වැඩපිළිවෙල තුල ඒ ආශ්‍රව ක්‍ෂය කරන දහම් ප්‍රතිපදාව ක්‍රියාවට නගන්න පුළුවන් වෙන්නේ.

පුංචි නිදර්ශනයක් ගත්තොත් පින්වතුනි, අපි කරන හැම ක්‍රියාවකටම සතර දැනුමක්ම එකතුවෙලා තියෙනවා. මම ඔබට කියනවා අන්න අහවල් අල්ලපු කාමරේ බොහොම වටිනා ලස්සන දෙයක් තියෙනවා. එතනට ගිහිල්ල බලන්න කියලා. දැන් ඔබ මොහොතකට හිතන්න මේ ගැන. බොහොම වටිනා ලස්සන දෙයක් තියෙනවා අල්ලපු කාමරේ ගිහිල්ල බලන්න. දැන් ඔබ ඒ කාමරේට ගිහිල්ල දොර ඇරලා බලනකොට එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ හරි අඳුරුයි කළුවරයි ඒ කාමරේ. ඇතුලේ ඇති කිසිදෙයක් පෙනෙන්නේ නැහැ. පෙනෙන්නෙනැත්තේ ඇයි? අන්ධකාරය නිසා. දැන් ඔබ දන්නවා ඇතුලත අතිදෙය පෙන්නේ නැහැ. ඒ ඇයි? අඳුර නිසා. අදුර නැතිකලොත් බලන්න ඕනදේ බලන්න පුළුවන්. අඳුර නැතිකරන්න පුළුවන්. හැබැයි අඳුර නැතිකරන හැටි දැනගන ඉන්න ඕනේ. දැන් හිතන්න කාමරේට එබුනා. පේන්නේ නැහැ කිසි දෙයක්. පෙනෙන්නේ නැත්තේ අඳුර නිසා කියලත් දන්නවා. අඳුර නැතිකරන්න පුළුවන් ආලෝකයෙන් කියල දැනුමත් ආවා. දැන් දැනුම් තුනක් තියෙනවා. හැබැයි ආලෝකය උපදවන ක්‍රමය දන්නේ නැත්නම්. ස්විච් එක තියෙන්නේ කොතනද කියල දන්නේ නැත්නම්. ආලෝකය උපද්දවනවා කියන කාරණය ඔබට වෙන්නේ නැහැ. ආලෝකය උපදවන්න නම ආලෝකය උපද්දවන ක්‍රමයත් දැනගන තියෙන්න ඕනේ. ආලෝකය උපදවන ක්‍රමය දන්නා කෙනා ඒ ක්‍රමයෙන් ආලෝකය උපදවාගෙන අඳුර දුරු කරලා  දැකිය යුතු දේ දකින්න පුළුවන්. මොහොතකට හිතන්න මේ කාමරයට ඇතුල් වෙච්ච කෙනෙක් ඉන්නවා මේකේ ආලෝකය උපදවනහැටි දන්නේ නැහැ. හැබැයි දැන් එයා දන්නවා එතන වටිනා දෙයක් තියෙනවා. තියෙන දේ පේන්නේ නැහැ අඳුර නිසා. අඳුර නැතිකරන්න පුළුවන් කියලත් දන්නවා. හැබැයි අඳුර නැතිකරන හැටි ආලෝකය උපදවන හැටි දන්නේ නැහැ. එයාට ආලෝකය උපදවන්න ඉඩක් නැහැ. ක්‍රමයක් නැහැ. එයා ආලෝකය උපදවන්න කියල විවිධ දේ කරාවි. දෙවියන්ට යාඥා කරාවි.පුද පුජා කරාවි. බාර හාර වේවි. එහෙම නැත්නම් අනේ අපි අඳුරේම ඉන්න උපන් අය ආලෝකයක් කොහෙන්දෝ අපට කියල  සුසුම් හෙලාවී. හැබැයි ආලෝකය උපදවාගන්නේ මෙහෙමයි කියල දන්න කෙනා, ඒ දැනුම හතරම එකතු වෙච්ච කෙනා , එය දන්නවා මේ කාමරේට ලයිට් තියෙන්න ඕනේ. එකේ ස්විච් එක මේ බිත්තියේ මෙන්න මේ ප්‍රදේශවල  ඇතුල්වෙන දොර කිට්ටුවෙ ඇති. දැන් එයා අඳුරේම අතගානවා. දැන් ඇතුලේ කිසි දෙයක් දැකල නැහැ. අඳුරු බව දන්නවා. එහි යමක් දකින්න තියෙනවා කියල දන්නවා. එක පේන්නේ නැත්තේ අඳුර හින්ද කියලත් දන්නවා. අඳුර ආලෝකයෙන් නැතිකරන්න පුළුවන් කියලත් දන්නවා. ඒ අඳුර නැතිකරන්න ආලෝකය  ලබාගන්නේ මෙහෙමයි කියලත් දන්නවා.දන්න කෙනා බිත්තිය දිගේ අඳුරේම අතගගා අතගගා යනවා. යනකොට එයාට හම්බවෙයි යම උපකරණයක්. දැන් එයා  දන්නවා මෙන්න මෙතන තමයි ආලෝකය උපදවන තැන. දැන් එය ස්විච් එක ඔබනකොටම අඳුර දුරු වෙනවා. ආලෝකය ලැබෙනවා. දැකිය යුත්ත දකිනවා.

දැන් බලන්න මෙන්න මේ නිදර්ශනය හොඳට. ආලෝකය උපදවනවා කියන කාරණාව ලැබුනේ කාටද? සතර දැනුමකින් යුක්ත කෙනාට. බැලිය යුත්තක් තියෙනවා කියන දැනුම තිබුන. පෙන්නේ නැත්තේ අඳුර නිසා කියන දැනුම තිබුන. අඳුර නැතිකරන්න පුළුවන් ආලෝකයෙන් කියන දැනුම තිබුන. ආලෝකය උපදවන්නේ මෙහෙමයි කියන දැනුම තිබුන.ඒ සතර දැනුමම එකතු වෙච්ච කෙනා තමයි ආලෝකය උපද්දවනවා කියන ක්‍රියාවට ගියේ. අඳුරේ නමුත් පටන් ගත්තේ එයා.පටන්ගෙන එයා අඳුරේම හරි තැන හොයාගන ආලෝකය උපදවගත්තා. අඳුර දුරු කළා. දැකිය යුත්ත දැක්කා. ඔබටත් මටත් මේ සාසනයෙහි මේ ආශ්‍රව ක්ෂය කරනවා කියන මාර්ගය ප්‍රතිපදාව වඩනවා කියන්න නම් මෙන්න මේ වගේම සතර දැනුමක් ඕනේ. අර සරල ක්‍රියාවේදීත් සතර දැනුමක් මුලික වෙලා තියෙනවනම් මේ අනන්ත දුක්විඳින මේ සංසාර ගමන නිමා කරන  මේ වැඩපිළිවෙලට  ඒ සතර දැනුමෙන් තොරව කටයුත්තක් හම්බවෙන්නේ නැහැ.

දැන් අපි හුඟාක් දෙනෙකුට දුක කියල තේරෙනවා. අපි කෙනා කෙනා හඳුනාගත්තා දුකක් තියෙනවා. සංසාර දුකක් තියෙනවා. දුකට හේතුවත් හඳුනාගැන තියෙනවා තන්හාව වෙන්න ඇති කියල. තන්හාව නැතිකලොත් මේ දුක ගෙවෙනවා කියලත් දන්නවා. හැබැයි අපි තන්හාව නැතිකරනහැටි දන්නේ නැහැ. අපි තන්හාව නැති කරගන්න  කියල එක උත්තරයක්‌ අරගන තියෙනවා. භාවනා කරන්න ඕනේ. ඒනිසා අපි තරඟෙට භාවනා කරනවා. නානාවිධ ගුරුවරුන් හොයාගෙන යමින් භාවනා කරනවා. අර කාමරේට අතුල්වෙච්ච කෙනා විදුලිය උපදවගන්නේ මෙහෙමයි කියල දැනගෙන නොසිටියානම් නොසිටිකෙනා ආලෝකය උපදවගන්න ලෝකයේ කරන දේ විවිධයි. ඒවගේ ලෝකයේ ඔබත් මමත් දුක ගැන යම්කිසි දැනුමක් තිබුනත්, සමුදය තණ්හාවයි කියල දැනගෙන තිබුනත් තන්හාව ක්ෂය කිරීම නිවනයි කියල දැනගෙන තිබුනත් හැබැයි තන්හාව නැතිකරන ක්‍රමය මෙහෙමයි කියල අපිට හම්බ උනේ නැහැ. ඒ නිසා අපි තන්හාව නැතිකරන්න අඳුර නැතිකරන්න එලිය උපදවන්න එක එක දේවල් කළා. මේ පිරිස අතරේ අපි ප්‍රශ්න කලොත් ඒ එලිය උපදවන්න කරන ක්‍රියාකාරකම් එකිනෙකට වෙනස්. එකිනෙකට ප්‍රතිවිරුද්ධයි.

හැමෝම මේ අඳුර දුරුකරන්න ආලෝකය උපදවන්න මොනවහරි යමක් කරනවා. එහෙම කරලා බැහැ පින්වතුනි. මේ අඳුර දුරු කරලා ආලෝකය උපද්දවන්න දුකට හේතුව නැති කරලා දුක නැතිකරන්න ඕනේ.  ඒකට ක්‍රමයක් තියෙන්න ඕනේ. අන්න ඒ ක්‍රමය ලැබෙන්නේ සතර දැනුමක් එක්ක. ඒකයි සම්මාදිට්ටිය කියන මාර්ගය උපදිනකොට සම්මාදිට්ටිය උපන්නොත් සම්මාසංකප්පය ,සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජිව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන මාර්ගය උපදිනවා. ඒ කියන්නේ ත්‍රිශික්ෂාව හම්බවෙනවා. සම්මාදිට්ටිය උපන්නා කියන්නේ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛනිරෝධගාමිණීපටිපදාය  ඥානං. මේ සතර දැනුමට නේද සම්මා දිට්ටිය කිවුවේ. මේ සතර දැනුමටයි සම්මා දිට්ටිය කිව්වේ. එහෙනම් අපි මාර්ගය වඩනවා කියන්නනම්, මේ සතර දැනුම අර්ථවත් වෙලා තියෙන්න ඕනේ එතන. මොකක්ද සතර දැනුම? දුක දැනගෙන ඉන්න ඕනේ. දුකට හේතුව දැනගන්න ඕනේ. දුක නැතිකිරීම දැනගන්න ඕනේ. නැතිකරන්නේ මෙන්න මෙහෙමයි කියලත් දැනගන්න ඕනේ. අන්න ඒ දැනුමට එන ආපු තැන තමයි දර්ශන භුමිය කියල  පෙන්වුයේ. අපි මෙන්න මේ සතර දැනුමට එනකල් දර්ශන භූමියට ආවේ නැහැ. මාර්ගයට ආවේ නැහැ. ඒ නිසා අපිට කියන්න අයිතියක් නැහැ අපි මාර්ගය වඩනවා කියල. මාර්ගය වඩනවා කියලා කියන්න නම් සම්මාදිට්ටිය ඉපදිලා තියෙන්න ඕනේ. සම්මා දිට්ටිය ඉපදිලා නම් එතන අර්ථවත් වෙලා තියෙන්න ඕනේ දුක, සමුදය, නිරෝධය, මාර්ගය කියන සතර නුවන. අන්න එතන වැටහුනානම් එතන ලැබුණානම් ඒ ලැබුනේ කාටද නොලැබුනේ කාටද කියන එක නිවැරදිව සැක නැතිව මේ සුත්‍රය තුලින් අපට බුදුරජානන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා. උන් වහන්සේ ඒ ටික දේශනා කරන්නේ මේ ශාසනය තුල පුද්ගල භාවයෙන් දෙදෙනෙකු පිළිබඳව අපට පැහැදිලි කරලා දෙනවා. අසෘතවත් පෘතග්ජනයා සහ සෘතවත්ආර්ය ශ්‍රාවකයා. කවුද අසෘතවත් පෘතග්ජනයා? කවුද  සෘතවත්ආර්ය ශ්‍රාවකයා? උන්වහන්සේ දේශනා කරනවා මෙන්න මේ දර්ශනයෙන් දුරුකලයුතු ආශ්‍රව කියන ක්‍රමය යටතේ පැහැදිලි කරනවා.

ඔන්න අසෘතවත් පෘතග්ජනයා  පිළිබඳව බුදුරජාණන් වහන්සේ මුලික හැඳින්වීමක් කරනවා. ආර්යයන් නොදැක්ක, ආර්ය ධර්මයෙහි අදක්ෂ, ආර්ය ධර්මයෙහි නොහික්මුණු,  සත්පුරුෂයන් නොදැක්ක, සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂ, සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුනු කෙනා අසෘතවත් පෘතග්ජනයා.

සෘතවත්ආර්ය ශ්‍රාවකයා ගැන උන්වහන්සේ  දේශනා කරනවා ආර්යයන් දකින ආර්ය ධර්මයෙහි දක්ෂ, ආර්ය ධර්මයෙහි හික්මුණු, සත්පුරුෂයන් දකින ඇසුරුකරන, සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ,  සත්පුරුෂ ධර්මයෙහි හික්මුණු කෙනා  සෘතවත්ආර්ය ශ්‍රාවකයා. හැබැයි සත්පුරුෂයෝ ළඟ  හිටි පමණින් ඒ සත්පුරුෂ ධර්මය ඇසුරු කල පමණකින්  සෘතවත්ආර්ය ශ්‍රාවක භාවය ලැබෙන්නේ නැහැ. ඔබට මතක ඇති මහා කාශ්‍යප හාමුදුරුවෝ ළඟ හිටපු ගෝලයා ගැන. මහා කාශ්‍යප හාමුදුරුවෝ නිරන්තරයෙන්ම වැඩ සිටියේ වනාන්තරයේ. උන්වහන්හන්සේ  ධුතංග ධාරීන් අතරින් අගතැන්පත් බව ලබපු උත්තමයන් වහන්සේ. උන්  වහන්සේ නිරන්තරවම ආරණ්‍ය වාසයේ ගතකරන ඒ ධුතංගය සමාදන් වෙමිනුයි හිටියේ. උන්වහන්සේ රෝගී වූ අවස්ථාවක උන්වහන්සේට උපස්ථානයට ගම් වැසියෙක්  තමන්ගේ දරුවන් දෙදෙනෙක් පැවිදි කරලා උන්වහන්සේගේ උපස්ථානයට තැබුවා. මේ එක හාමුදුරු කෙනෙක් හරි දක්ෂයි. මහා කාශ්‍යප හාමුදුරුවන්ට හරිම හිතවත්. උන් වහන්සේගේ ඕනේ එපාකම් සොයල බලල කටයුතු කරනවා. අනිත් හාමුදුරුවෝ හරි කම්මේලියි අලසයි. හැබැයි අර හාමුදුරුඋවෝ වැඩ කරනකල් ඉඳලා නම දාගන්න දක්ෂයි ඒ හාමුදුරුවෝ. අර පොඩි හාමුදුරුවෝ වතුර ටික ලිපේ තියල උණු පැන් හදලා වතුර මුට්ටිය පැහෙන තරමට එනකොට ගිහින් කියනවා කාශ්‍යප හාමුදුරුවනේ උණු පැන් හදල තියෙන්නේ වඩින්න නාන්න කියල. ඉතින් අර හාමුදුරුවෝ කතාකරන්න යන්නේ නැහැ, නිහඬවෙලා පැත්තකට වෙලා ඉන්නවා .ඉතින් බොහොම මහන්සිවෙලා  පැන් උනුකලා වගේ අර හාමුදුරුවෝ මහා කාශ්‍යප හාමුදුරුවන්ව එක්කරගෙන ඇවිල්ල නාන්න දෙනවා.  ඉතින් ඔහොම කාලයක් යනකොට අර හාමුදුරුවෝ කල්පනාකලා මේ හාමුදුරුවන්ට පාඩමක් උගන්නන්න. දවසක්  මොකද කලේ මුට්ටිය නිකන් ලිපේ තියල වතුර දාන්නේ නැතිව  ගින්දර ටිකක් ලං කරලා තිබ්බා. අර හාමුදුරුවෝ නිදාගැන ඉඳල නැගිටලා බැලුව වෙනදා වෙලාවට හරි වතුර මුට්ටිය ලිපේ.  ඉක්මනින් දුවල ගිහිල්ල කිවුව මහා කාශ්‍යප හාමුදුරුවන්ට උණු පැන් හැදුව හරි මහන්සි වෙලා නිවෙන්න ඉස්සෙල්ල වඩිමු හාමුදුරුවනේ. හාමුදුරුවෝ වැඩල බලනොකොට කෝ පැන් නෑනේ. ඉතීම් මහා කාශ්‍යප හාමුදුරුවෝ මේ ගැන දැනගෙන  මේ හාමුදුරුවන්ට තදින් අවවාද කළා. ඉතින් මේ හාමුදුරුවෝ මහා කාශ්‍යප හාමුදුරුවන්ට, ගුරු හාමුදුරුවන් සමඟ කිපුනා. පස්සේ දවසක මේ හාමුදුරුවෝ මහා කාශ්‍යප හාමුදුරුවොයි අනිත් හාමුදුරුවරුයි පිණ්ඩපාතේ යනකම් ඉඳලා ගමේ වෙනත් පැත්තකට ගිහින් කියනවා මහා කාශ්‍යප හාමුදුරුවෝ ටිකක් අද අසනීපෙන් පින්ඩපාතේ වඩින්නේ නැහැ. උන්වහන්සේටත් එක්ක දානේ ගෙනියන්න ඕනේ අද. මහා කාශ්‍යප හාමුදුරුවන්ට අසනීපයි කියල කිවුවහම රසවත් දේ ප්‍රනීත දේ හොඳ දේ පිළියෙළ කරලා මේ පොඩි හාමුදුරුවන්ට දෙනවා. මේ හාමුදුරුවෝ පැත්තකට ගිහින් මේක හොඳින් වළඳලා  ටිකක් නිදාගන්නවා. පස්සේ කාලෙක මහා කාශ්‍යප හාමුදුරුවෝ මේ පැත්තට පිණ්ඩපාතේ වැඩියහම ගම්වැසියෝ මහාකාශ්‍යප හාමුදුරුවන්ගෙන් අහනවා, අනේ ස්වාමිනි ඔබ වහන්සේ අසනීප වෙලා හිටියලු නේද? උන්  වහන්සේ කියනවා නෑ නෑ මට එහෙම අසනීපයක් තිබුනේ නැහැ. අර පොඩි හාමුදුරුවෝ ඔබ වහන්සේට අසනීපයි කියල දානේ අරගන ගියානේ. එදත් ඇවිදිල්ල උන්  වහන්සේ තදින් අවවාද කලා. එහෙම කරන්න  එපා මහණෙනි, මේ ශාසනය තුල අපි හැදෙන්න ඕනේ හික්මෙන්න ඕනේ මේ දුක ගෙවාගන්න ඕනේ කියල ආවවාද කළා. මී අවවාදය සත පුරුෂයන්ට නම් හොඳයි, අසත්පුරුෂයෝ කිපෙනවමහාකාශ්‍යප හාමුදුරුවොයි අනිත් හාමුදුරුවොයි පිණ්ඩපාතේ වඩිනකල් ඉඳල මහා කාශ්‍යප හාමුදුරුවන්ගෙයි අනිත් හාමුදුරුවන්ගෙයි රෙදි ඔක්කොම ගිනි තියාම පැනලා ගියා .

අන්න සත්පුරුෂ ආස්ශ්‍රයේ හිටිය සත්පුරුෂයන් ඇසුරු කළා. සත් පුරුෂයන් ළඟ හිටියා. නමුත් අසත්පුරුෂකම එහෙම්මම තිබුනා.ඒ නිසා සත්පුරුෂයන් දකින පමණකින්, සත්පුරුෂයන් ළඟ හිටිය පමණකින් සෘතවත්ආර්ය ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ.  සෘතවත්ආර්ය ශ්‍රාවකයෙක් උනාද නැද්ද කියන එක මනින්නේ ඊළඟට බුදුරජානන් වහන්සේ දේශනා කල තැනින්. මේ අසෘතවත් කෙනා ආර්යයන් සත්පුරුෂයන් නොදකින ඒ ධර්මයෙහි අධක්ෂ නොහික්මුණු බව සනාථ වෙන්නේ ඔහු දන්නේ නැහැ මෙනෙහි කල යුතුදේ. මෙනෙහි නොකළයුතු දේ දන්නෙත් නැහැ. යම් ධර්මයක් මේනෙහි නොකළයුතු නම් ඒ ධර්මය ඔහු මෙනෙහි කරනවා. යම් ධර්මයක් මෙනෙහි කලයුතු නම් ඒ ධර්මය මෙනෙහි කරන්නේ නැහැ. ඔන්න අසෘතවත් භාවයේ ප්‍රථිපලය. සෘතවත් භාවයට පත් වෙනකොට  අර සැබෑ ඇසුරට පත් වෙනකොට සත්පුරුෂයන් ආර්යයන් අපට ලැබුනොත් ඒ ඇසුරට පත්උනොත් ඒ ධර්මය ශ්‍රවනය කලොත් එහි දක්ෂ උනොත් එහි හික්මෙනකොට අපි හඳුනාගන්නවා.

ඔන්න සත්පුරුෂයන්ගේ ආර්යයන්ගේ ඇසුරට පත උනාම ලැබෙන ප්‍රතිපල, ප්‍රතිලාභය තමයි ලබන්න ඕනේ ප්‍රතිලාභය තමයි මෙනෙහි කලයුතු දේ දැනගන්න ඕනේ. මෙනෙහි නොකළයුතු දේද දැනගන්න ඕනේ. මෙනෙහි කලයුතු දේ දන්නවනම් මෙනෙහි නොකළයුතු දේ දන්නවනම් ඒ බව දන්නා කෙනා යමක් මෙනෙහි නොකළයුතු නම් ඒ දෙය මෙනෙහි කරන්නේ නැහැ. යම් ධර්මයක් මෙනෙහි කලයුතු නම් ඒ ධර්මය මෙනෙහි කරනවා. සෘතවත්ආර්ය ශ්‍රාවකයා කියන්නේ එතකොට මෙනෙහි කලයුතු දෙය දන්නා මෙනෙහි නොකළයුතු දෙය දන්න ඒ අනුව මෙනෙහි කලයුතු ධර්මයෝ මෙනෙහි කරන මෙනෙහි නොකලයුතු ධර්මයෝ මෙනෙහි නොකරන කෙනා. එතකොට අපි කල්‍යාණ මිත්‍ර ආශ්‍රයට සත්පුරුෂ ආශ්‍රයට ආර්ය උත්තමයින්ගේ ඇසුරට ගිහිල්ල  අපි ලබන්න ඕනේ ප්‍රතිඵලය තමයි මෙයින් කියවෙන්නේ. මෙන්න මේ හැකියාව අපිට ලැබෙන්න ඕනෙ සද්ධර්මය තුලින්. කල්‍යාණ මිත්‍ර ආශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවනයෙන් යෝනිසෝමනසිකාරයෙන්. අපි සෝතාපන්න අංග ගැන මතක කලොත් කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, සද්ධර්ම ශ්‍රවනය, යෝනිසෝමනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට ධම්මානුධම්ම ප්‍රතිපදාවක් නැහැ, යෝනිසෝමනසිකාරය අයෝනිසෝමනසිකාරය නොහඳුනන  කෙනෙකුට. යෝනිසොමනසිකාරය අයෝනිසෝමනසිකාරය හැඳිනීමක් නැහැ ඊට අදාළ සද්ධර්මය නොලැබුනොත්. ඒ අදාළ සද්ධර්මය ලැබෙන්නේ කාගෙන්ද අන්න එතන ආර්ය භාවය සත්පුරුෂ භාවය තියෙන්න ඕනේ. දැන් එහෙමනම් අපිට අර කියන දර්ශන භූමියට පැමිණෙන්න දුක්ඛ, සමුදය, නිරෝධය , මාර්ගය කියන සතර දැනුම ලබන්න මෙන්න මේ ආශ්‍රයෙන් එන මේ සද්ධර්මයෙන් ඉගෙනගන්න ඒ යෝනිසෝමනසිකාරය අයෝනිසෝමනසිකාරය හඳුනාගැන තියෙන්න ඕනේ. දැන් අපි එක එක්කෙනාගෙන් කතාකරල බැලුවොත් මේ හැම කෙනෙක්ම යම් අයෝනිසෝමනසිකාරයක් හඳුනනවා. යම් ආකාරයක් යෝනිසෝමනසිකාරයක් හඳුනනවා. මේ ඇත්තෝ දන්නවා පව පින කුසලය අකුසලය. මේ හිත පහලවෙනකොට අකුසල් හිතක් කියල දන්නවා. මේ හිත පහල වෙනකොට කුසල් හිතක් කියල අඳුනන බවක් තියෙනවා. කුසල සිත අකුසල සිත හඳුනන බවක් තියෙනවා යම් දුරකට. එහෙත් එය ප්‍රමාණවත් වෙන්නේ නැහැ, ඒ යෝනිසෝමනසිකාරය අයෝනිසෝමනසිකාරය ප්‍රයෝජනවත් වෙන්නේ නැහැ මේ දර්ශන භූමියට පැමිණ සිටින්න. ඒ යෝනිසෝමනසිකාරය “ඉධං දුක්ඛන්ති යෝනිසොමනසිකරෝති". මේ දුකයි කියල දකින දෙයක් හම්බවෙන්න ඕනේ. මේ සමුදයයි කියල දකින දෙයක් හම්බවෙන්න ඕනේ. මේ නිරෝධයයි මේ මාර්ගයයි කියල දකින තැනකට අපි එන්න ඕනේ. එකයි දස්සනා කියල කියන්නේ. එතනට එන්න ඔය මනසිකාරය ප්‍රයෝජනවත්ද නැද්ද කියන එක අපි පෞද්ගලිකව දන්නේ නැහැ.අපි තේරුම් ගනිමු එක ප්‍රමාණවත්ද? අපි ළඟ එහෙම එකක් තියෙනවද? එහෙම නැත්නම් අපි හොයන්න ඕනෙද? කියල.  මොකද ඒකත් මේ සුත්‍රයේම ඊළඟට අපට දේශනා කරනවා.

ඔන්න අසෘතවත් පෘතග්ජනයා මෙනෙහි නොකළයුතු දේ මෙනෙහි කරලා මෙනෙහි කලයුතු දේ මෙනෙහි නොකිරීමෙන් නුපන් ආශ්‍රව උපදවා ගන්නවා. උපන් ආශ්‍රව වැඩිදියුණු කරගන්නව. ඔහුගේ අයෝනිසෝමනසිකාරය කෙබඳුද කියල ඊළඟට අපිට දේශනා වෙනවා. මෙන්න මෙතන හරි වැදගත් පින්වතුනි අපිට අපිව හඳුනාගන්න. මට සත්පුරුෂ ආශ්‍රයක් කල්‍යානමිත්‍ර  ආශ්‍රයක් ආර්ය දැක්මක් වෙලා ඇතිද මා ආර්ය ධර්මයෙහි සත්පුරුෂ ධර්මයෙහි දක්ෂද, මා ආර්ය ධර්මයෙහි සත්පුරුෂ ධර්මයෙහි හික්මුණු කෙනෙක්ද  කියන සැබෑ අවබෝධය ලබන්න පුළුවන් වෙනවා තව කෙනෙකු කියන කරන දෙයක් නිසා නොවෙයි තමාට තමාවම හඳුනාගෙන.

උන්වහන්සේ මෙසේ දේශනා කරනවා. මෙසේ අයෝනිසෝමනසිකාරයෙන්  යුක්ත කෙනාට මෙන්න මේ වගේ අදහස් ටිකක් එනවා. දං බලන්න ඔබත්,  මම අතීතයේ හිටියද? මම අතීතයේ හිටියේ නැද්ද? මම පෙර කවුරු වෙලා ඉන්න ඇත්ද? මම කොහොම කෙනෙක් වෙන්න ඇත්ද? මොනවගේ වර්ණයෙන් මොනවගේ ගෝත්‍රයක මොනවගේ නමකින් ඉන්න ඇත්ද? මම කවුරු වෙලා කවුරු බවට පත් වෙන්න ඇත්ද? අතීත භාවය ඇසුරු කරගෙන මෙන්න මේ විදිහේ අදහසක් පහල වෙනවනම් ඒ අයෝනිසෝමනසිකාරය. යෝනිසෝමනසිකාරය නොහඳුනනබවේ ප්‍රතිඵලයක්. තාමත් සෘතවත්ආර්ය ශ්‍රාවක භාවය ලැබිල නැහැ. අතීතය පිළිබඳව ඔබට මට එහෙම හිතෙනවනම්, මම අතීතයේ හිටියද, මම අතීතයේ හිටියේ නැද්ද කවුරු වෙලාද හිටියේ කොහොම කෙනෙක් වෙලා ඉන්න ඇත්ද, කවුරු වෙලා කවුරු බවට පත් වෙන්න ඇත්ද.

ඒ වගේම අනාගතය පිලිබඳව,  මම අනාගතයේ උපදීද?  මම නම අනාගතයේ උපදින්නේ නැහැ. මම අනාගතයේ කවුරුවෙලා මොකෙක් වෙලා උපදීද? තිරිසනෙක් වෙයිද? පෙරේතයෙක් වෙයිද, දෙවියෙක් වෙයිද මනුස්සයෙක්වෙයිද මොනවගේ වර්ණ ඇති කෙනෙක් මොනවගේ කෙනෙක්, මහේ ශාක්‍ය කෙනෙක් වෙයිද අල්පේශාක්‍ය කෙනෙක් වෙයිද, බඩගාන කෙනෙක් වෙයිද හතර පා ඇති කෙනෙක් වෙයිද අනාගතය පිළිබඳව හිතෙනවනම් කවුරු වෙලා කවුරු බවට පත්වේවිද කියල හිතෙනවනම් මෙන්න මේ අයෝනිසෝමනසිකාරයයි. දැන් බලන්න අපි මේවයින් මිදිලද කියල. අපි අතීතය පිළිබඳවත් හිතනවා, අනාගතය පිළිබඳවත් හිතනවා. අපි මාර්ගයට ආවනම් ඒවා හිතෙන්න බැහැ.


ඊළඟට වර්තමානය තුලත් තියෙනවා එහෙම.  වර්තමානය තුලත් මම කියල කෙනෙක් ඉන්නවද? මම කියල කෙනෙක් නෑනේ.  මම කවුරුද?  මම මොනවගේ කෙනෙක්ද? මේ සත්වයා කොහේ ඉඳලද ආවේ? කොහෙට යයිද? මෙන්න මේ කියන අතීත අනාගත වර්තමාන කියන කාලත්‍රයෙහි මේ අදහස් ඇතිව ඉන්නවානම් එතන නැහැ සම්මා දිට්ඨිය. අපි හරි තැනට ඇවිත් නැහැ. දැන් සමහර වෙලාවට ඔය හරි තැනට ආව කියන අයත් ඉන්නේ මේ වැරදි අදහස්වලමයි. අපි සක්ඛාය දෘෂ්ටිය දුරුකලා කියල කියන්නේ මාර්ගය උපන්න කියන්නේ මම නැතිවෙන්න ඕනේ. මම ඉන්නකල් අතීතය පිළිබඳව අදහස් තියෙනවා. අනාගතය පිලිබඳව අදහස් එනවා. වර්තමානය පිලිබඳවත් අදහස් එනවා.මම මේ වගේ කෙනෙක් මම මේවගේ තත්වයට පත් වෙච්ච කෙනෙක්. මෙන්න මෙහෙම අඟවන අයගැන ටිකක් ප්‍රවේසම් වෙන්න. අද එහෙම අය හරියට ඉන්නවා. එහෙම කියා කියා තමයි මේ වැරදි පාරවල් කියල දෙන්නේ. අපි දැනගන්න ඕනේ, අපි තමුන්ව හඳුනගන්න ඕනේ අනුන්ව හඳුනාගන්න යන්න එපා. 

ධර්මය අකාලිකයි. අකාලික තැනකට එන්න ඕනේ අපි. අපි මෙන්න මේ  කාලත්‍රයෙහි  මේ අදහස් පහල වෙනවනම් අපි දැන් තව ඉක්මන් කරන්න වීර්ය කරන්න උත්සාහවත් වෙන්න සත්පුරුෂ ඇසුරට යන්න සද්ධර්මයෙහි දක්ෂ වෙන්න මෙහි හික්මෙන්න ඉක්මන් වෙන්න  ඕනේ. දැනුත් ප්‍රමාද නැහැ. ඊළඟට මෙන්න මේ කාලත්‍රයෙහි මේ සැක සංකා පහල වෙනවා නම් ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මෙන්න මේ අයෝනිසෝමනසිකාරයෙන් යුක්තවෙන කෙනා ඒකාන්තයෙන් මෙන්න මේ දෘෂ්ටි හයෙන් එකකට වැටෙනවා කියල දෘෂ්ටි හයක් පෙන්වනවා. අපි මේ කාලත්‍රයෙහි සැක සංකාවලින් ඒ දෘෂ්ටි වලට නොවැටී සම්මා දිට්ඨියට පැමිණෙන්නේ කොහොමද කියල බලමු.

1 comment:

  1. Lucky Club: The ultimate online casino site
    Lucky Club is an online casino that is offering the best online gambling experience. Play the best online casino games, luckyclub.live join today to get your €500 welcome

    ReplyDelete