Tuesday, February 8, 2011

අසරණයින්ට පිහිට වූ බුදු පියාණන් වහන්සේ

පටාචාරාවට පිහිට වූ අයුරු:

පටචාරවගේ කතාවනම් ඔයාල හැමෝම දන්නවත් ඇති. ඒත් මම මුල ඉඳලම කියන්නම්. ඇය සැවැත් නුවර ඉතා ධනවත් සිටුවරයෙකුගේ දියණියක්. සිටු මැදුරේම සේවය කල මෙහෙකරුවෙකු සමඟ ඇති කරගත් සබඳකමක් නිසා ඇයට ඔහු සමඟ රහසින්ම පැන යාමට සිදු වුනා. පළවෙනි දරුවා ලැබෙන්නට ඇගේ මෑණියන් වෙත යාමට පිටත් උවත් එය නොහැකි වුණේ අතරමඟදී ම දරු ප්‍රසූතිය සිදු වූන බැවින්. දෙවැනි දරුවා ලැබීමට නම් කෙසේ හෝ මවුපියන් වෙතට යාමට ආ මුත් මඟදී විපත් රැසකටම ගොදුරු වීමට ඇයට සිදු වුනා.

මහ වැස්සකට මඟදී ගොදුරු උන ඇයට දරුවාද ලැබෙන්නට යන බව දැනිණි. වැස්සෙන් තරමක් වත් ආවරණය වීමට කොළඅතු ටිකක් සොයාගෙන ඒමට ගිය ඇගේ සැමියා සර්පයකු විසින් දෂ්ට කර මියගියා. මහවැස්සේ දෙවැනි දරුවා ද අතර මගදී ම ලැබූ ඇය පසුදා සැමියා මියගිය වේදනාවෙන් තැවෙමින් දරු දෙදෙනා ද ගෙන සැවැත් නුවර බලායන්න පිටත් වුණා.මගදී එතෙර වීමට ඇති ගඟ දුටු ඇයට එක්විට දරු දෙදෙනාම රැගෙන යාම අපහසු බව වැටහුනා.එබැවින් වැඩිමහළු දරුවා මෙගොඩ තබා පළමුව ලේ කැටි බිළිඳා රැගෙන එගොඩට ගොස් ගඟින් එතෙර තබා අනෙක් දරුවා රැගෙන යාමට ආපසු මෙගොඩ එමින් සිටියා. ගඟ  මැදදී ලේ කැටි බිළිඳා උකුස්සකු විසින් ගෙන යන ආකාරය දුටු ඇය කෑ ගසමින් ගඟ මැද සිට  උකුස්සා එළවීමට අත්පුඩි ගැසූවත් කිරි කැටි දරුවා බේරාගන්න ඇයට බැරි උනා. අම්මා කෑ ගසමින් අත්පොළසන් දිදී කතා කරන්නේ ඔහුට යයි සිතූ වැඩිමල් දරුවා පටචාරා වෙත යෑමට උත්සාහ කරද්දී ගඟට වැටුනා. පටචාරාව බල සිටිද්දීම ඒ දරුවාත් වතුරේ ගසාගන ගියා. 

සැමියාත් දරු දෙදෙනාත්නැතිව දරාගත නොහැකි ශෝකයෙන් යුතුව හඬමින් වැලැපෙමින් ඇය ඇගේ දෙමාපියන් සොයාගෙන ගියා. වැසිදා රාත්‍රීයේ නිවස කඩා වැටී ඇගේ මව, පියා සහ එකම සොහොයුරාත් මිය ගිය බව හා තිදෙනම එකම සොහොනක දැවෙන බව ඇසූ ඇය සිහි මුලාවී බිම හැපෙමින් හඬ හඬා හිස හැරුණු අත දිව ගියා. ඇඳිවත වත් නොමැතිව දිව යන ඇය දුටුවන් සිතුවේ ඇය පිස්සියක් කියලයි. අනුකම්පාවක් නැති ඇතැම් දුදනෝ ගල්මුල් වලින් පවා ඇයට දමා ගැසූවා. අන්තිමට ඇය දෙව්රම් වෙහෙර බුදුරදුන් දහම් දෙසමින් වැඩසිටි තැනට පැමිනියා. එතැන සිටි ඇතැම් අය ඇගේ පැමිණීම වැළැක්වීමට උත්සාහ කලා. නමුත් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ ඇයට ඒමට ඉඩ ලබා දුන්නා.

බුදුරදුන් “නැගණියනි සිහිය උපදවා ගන්නැ” යි  වදාළ වචන ඇසූ පටාචාරාවට ප්‍රකෘති සිහිය ලැබුනා. බුදුන් වහන්සේගෙන් ධර්මය ඇසීමට පැමිණුනු පුද්ගලයෙකු තම උතුරු සළුව පටාචාරා වෙතට දැමූවිට ඇය එය ගෙන ඇඳ ගත්තා. ඇය මුහුන දුන් සියලු සිදුවීම් වලට සවන් දුන් බුදු පියානන් වහන්සේ මහා කරුණාවෙන් ඇයගේ දුක තුනීකොට දහම් දෙසුවා. ජීවිතය වටහාගත් ඈ හැඬීම වැළැපීම තේරුමක් නැති බව වටහා ගත්තා. සෝවාන් වූ ඈ පැවිදිවීමට ඉල්වා සිටියා. භික්ෂුණී ආරාමයක පැවිදි උපසම්පදා ලැබූ ඇය පා සේදූ ජලය පොළවට උරාගන්නා දෙස බලා අනිත්‍ය මෙනෙහි කර රහත් බවට පත්වූවා. ඇය විනයවාදිනී භික්ෂුණීන් අතර අග තනතුර ලැබූවා. බුදු පියානන් වහන්සේගේ මහා කරුණා ගුනය නිසා ඇයට ලොව්තුරු සැනසිල්ල ලැබුනා.

රජුජුමාලාට පිහිට වූ අයුරු:

රජුජුමාලා කියන්නේ ගයා ප්‍රදේශයෙහි එක්තරා බමුණු ගෙදරක හිටපු සේවිකාවකට. ඒගෙදර ස්වාමිදුව ඉතාම ක්‍රෑර කාන්තාවක්. හැමවෙලේම රජ්ජුමාලවට ගුටුබැට තාඩන පීඩනවලට ගොදුරු වෙන්න සිදුවුනා. පුන්චි වැරැද්දකටත් ඇගේ කෙස් වැටියෙන් අල්ලාගෙන තැලීම ඉවසිය නොහැකි තැන රජ්ජුමාලා ඇයගේ හිස බූ ගාවා ගත්තා. එයින් යකින්නක් මෙන් කිපුණ ස්වාමිදුව රජ්ජුමාලාගේ බෙල්ලෙහි ලනුවක් බැඳ එයින් අල්ලාගෙන තලන්න පටන් ගත්ත‍ා. රජ්ජුව කියන්නෙ ලණුවට කියන තවත් නමක්. එම ලණුව නිතරම මාලයක් විදිහට  බෙල්ලේ තුබුණු නිසයි ඇය රජ්ජුමාලා නමින් හැඳින්වුනේ.

මේ ක්‍රෑර කාන්තාවගේ තාඩන පීඩන තවත් ඉවසා සිටි නොහැකිවූ රජ්ජුමාලා සිය දිවි හානිකර ගැනීමට තීරණය කළා. දිනක්  කළයක් ගෙන වතුර ගෙන එන්නට යන ලෙස නිවසින් පිට වී ගොස් කැලෑවකට වැදී ගසක එල්ලී දිවි හානිකර ගැනීමට තමයි ඇය සැරසුනේ. අවට කිසිවකු හෝ ඇත්දැයි වටපිට බැලූ ඇයට දක්නට ලැබුණේ ගසක් මුල වැඩහුන් බුදුරජාණන් වහන්සේයි. එදා අළුයම බුදු ඇසින් ලොව බලද්දී මහා කාරුණික  බුදුරජාණන් වහන්සේ රජ්ජුමාලා එල්ලී මැරෙන්නට සූදානම් වන බව කල්තියාම දුටුවා. ඒ නිසයි උන් වහන්සේ එහි වැඩමවා ගසක් මුල වැඩ සිටියේ. රජ්ජුමාලා ඉතා පුදුමයෙන් බුදුන් වහන්සේ දෙස බලා සිටිද්දී මේ සුමධුර වදන් ඇයට ඇසුනා. “දුවේ රජ්ජුමාලා එල්ලී ජීවිතය නැති කරගන්න එපා. මා වෙතට එන්න. මම ඔබට පිහිට වෙන්නම්” ඒ බුදුරදුන්ගේ කාරුණික හඬයි. ඒ ඇසුණු රජ්ජුමාලාට සියළු දුක් අමතක වුනා. සිතට දැනුනේ කියාගන්න බැරි තරම් සැනසිල්ලක්. බුදුරදුන් වෙත ගිය ඈ සිරිපා පියුම් වැඳ පසෙකින් හිඳ බුදුරජාණන් වහන්සේ දෙසූ දහම් අසා සෝවාන් ඵළයට පත්වුනා

ඇයගේ ස්වාමිදුව කෙරෙහිද ඇයට දැන් කිසි තරහවක් නැහැ. ජලය ද ගෙන මෙත් සිතින් යුතුව ගෙදර ගිය රජ්ජුමාලාගේ හැසිරිමද ඉතා සිත් ගන්නා සුළුයි. ගෙදර හැමෝම මේ වෙනස දුටුවා. ගෙදර ප්‍රධාන බමුණා ඒ ගැන ඇසූ විට රජ්ජුමාලා ඇය අද ලෝකයේ එකම පියාණන් වූ බුදුරදුන් සරණ ගිය බවත් තුනුරුවනට දිවි පිදූ බවත් ස්වාමි දුවණිය මා මරතත් ඇය කෙරෙහි මෙත් සිත පතුරුවන බවත් කියා සිටියා. මින් පෙර ඇයගෙන් යම් වරදක් ඔවුනට සිදුවූවානම් ඔවුන්ගෙන් ඇය සමාවද ඉල්වා සිටියා.බුදුරදුන් නිහා රජ්ජුමාලාගේ ඇතිවුණු වෙනස ගැන සතුටට පත් බමුණු පිරිස බුදුරදුන් හමුවීමට වනයට ගොස් උන්වහන්සේට ආරාධනා කොට නිවසට වැඩමවාගෙන විත් දන් පිටිගැන්වූවා.නිවැසියන් ප්‍රමුඛ රැස්ව සිටි පිරිසට බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවා. එයින් මෙත් සිතුවිලි ඇතිකරගත් ඔවුන් රජ්ජුමාලා මෙහෙකාර කමින් නිදහස් කර එම නිවසේ  ම දියණියක් ලෙස රැකබලා ගත්තා. තමා සේවය කළ නිවසේ හිරිහැර නිසා ගෙල වැළලා ගන්න තරමට අසරණව සිටි රජ්ජුමාලා එම නිවැසියන්ගේ ම දුවක, සහෝදරියක බවට පත්වූයේද  බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාව නිසයි.

No comments:

Post a Comment