Friday, May 20, 2011

අති පුජ්‍ය පිටිගල ගුණරතන ස්වාමින් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ සබ්බාසව සුත්‍ර පැහැදිලි කිරීම - තුන්වන කොටස

එහමනම් අපි මේක කෙබඳු තැ‍නකින් පටන්ගන්නවද? මේ පිරිස අතරේ බොහෝ බන භාවනාවලට නැඹුරු වෙච්ච යොමු වෙච්ච පිරිසකුත් ඉන්නවා. ඒ සඳහා මේ වනතෙක් කොහොමටවත්ම නොයෙදුණු පිරිසකුත් ඉන්නවා.එනිසා අපි හැම කෙනෙකුටම අවශ්‍ය විදිහෙන් මේක ටිකක් ප්‍රථමික පට්ටමේ ඉඳලම යමක් අපි කතාකලොත් වඩාත් සුදුසුයි. ඒ නිසා මේ අයෝනිසෝමනසිකාරය යෝනිසෝමනසිකාරය කියන වචන දෙකෙහි කෙටි අදහස තමයි නුනුවනින් මෙනෙහි කිරීම හා නුවනින් මෙනෙහි කිරීම. දැන් අපි මොනවද නුවනින් මෙනෙහි කරන්නේ, මොනවද නුනුවනින් මෙනෙහි කරන්නේ? එතනත් හඳුනාගන්න ඕනේ තැනක්. ඒ සඳහා අපිට බුදුරජානන්වහන්සේ දේශනා කල යම් සද්ධර්මයක් මේ සඳහා එකතු කරගන්න වෙනවා. මේ සුත්‍රයෙන්ම මේ අදහස ගන්න බරිවයනවා. තවත් සුත්‍ර කීපයක් මේකට එකතුකරගන්න වෙනවා ඒවායේ කරුණු සම්බන්ධ කරගන්න වෙනවා.

පින්වතුනි, මුළු ලෝකයම මේ ලෝකය සැපයි සුබයි හොඳයි කියන සංකල්පයක ඉන්නේ. හමුවෙන රුපය හොඳයි සැපයි කියල තමයි මෙනෙහි වෙන්නේ. ශබ්දය ගන්ධය රසය පහස හොඳයි සැපයි සුභයි කියල මෙනෙහි වෙන්නේ. ලෝකේ අපි හැමෝටම මෙහෙමයි. ඇහැට පේන රුපය ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ ප්‍රිය වූ දෙයක් හැටියට තමයි හමුවෙන්නේ. ශබ්දයත් එහෙමයි, ගන්ධයත් රසයත් පහසත් එහෙමයි. අපි ලෝකයේ හමුවන හැම අරමුණක්ම ඒ ආදී වශයෙන් ප්‍රිය මධුර ස්වභාවයෙන් බලනවා. හැබැයි ඊට බාහිර දේත් නැතිව නෙවෙයි. අනිෂ්ටවූ අකාන්ත්වූ අමනාපවූ අරමුණුත් ලෝකේ තියෙනවා.දැන් ඉෂ්ටවූ කාන්තවූ මනාපවු අරමුණු ලැබෙනකොට අපි සතුටු වෙනවා. අනිෂ්ටවූ අකාන්ත්වූ අමනාපවූ අරමුණු ලැබෙනකොට අපි දුක් වෙනවා. හොඳ අරමුණු ලැබෙනකොට ලෝභ සහගත වෙනව, නරක අරමුණු එනකොට ද්වේශ සහගත වෙනවා. ලෝභ ද්වේශ දෙකට වැටෙනවා අපි හැම කෙනෙක්ම. එතකොට ඇහැට රුප ගැටෙනකොට එක්කෝ හොඳයි කියල භාරගන්නවා, නැත්නම් නරකයි අප්‍රියයි අමනාපයි කියල පැත්තකට දානවා. දැන් ඒ දෙකතුල අපි මොකක්ද රැස් කරලා තියෙන්නේ ලෝභ ද්වේශ දෙක. කනට ශබ්දයක් ඇහෙනකොට එක්කෝ හොඳයි මිහිරියි කියල බාරගන්නවා, නැත්නම් අමිහිරියි කියල අකමැත්ත උපදිනවා. කන නිසා නිතර උපදින්නේ මොනවද? ලෝභ ද්වේශ. මේ විදිහට ආයතන හයටම ගැටෙන හමුවෙන අරාමුනු ඉදිරියේදී අපිට හැමතිස්සෙම උපදින්නේ ලෝභය හා ද්වේශය.ලෝභ ද්වේශ උපදින්නේ මෝහය ඇතිනිසාමයි. එතකොට අපිට හැමතිස්සෙම හැම අරමුනකම ලෝභ ද්වේශ මෝහ සහිතයි. ලෝභ ද්වේශ මෝහ සහිතව මේ ලෝකයේ අරමුණු ඇසුරුකරයිනම් යම්තාක් ඒතාක් අපි දුකෙන් මිදෙන්නේ නැහැ. දුකෙන් මිදෙන වැඩපිළිවෙලකවත නැහැ.

දැන් මෙන්න මේ නිසා මෙබඳු ලෝකයක ජීවත්වෙන අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ලෝකයේ ඇත්තේ යථාර්තය මෙන්න මෙබඳුයි. මෙය සිහිකරලා බලන්න විමසල බලන්න කියල උන්වහන්සේ අපිට අර්තයක් ධර්මයක් ලෝකෙට දේශනා කරනවා. අන්න උන්වහන්සේ කරන දේශනාව් අපි යම් සැසඳීමකට විමසා බැලීමකට ලක්කරන්න ආරම්භ කරනවා. ඒ සඳහා අපි ලෝභ ද්වේශ බොහොම භයානක නපුරු දේ හැටියට හඳුනා ගෙන ඒවා යටපත් කිරීම සඳහා යෝනිසෝමනසිකාරය භාවිතාවට ගන්නවා.

අන්න ඒ සඳහා අපි යොදාගන්න උපක්‍රමයක් හැටියට අපි බුදුගුණ අනන්තයි බුදුගුණ අනන්තයි අරහන් සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ මේ ගුනටික කියවනවා අගසිට මුලටත් මුල සිට අගටත්. මෙනෙහි කරනවා. එහෙම නැත්නම් “මාගේ ස්වාමිවූ බුදුරජානන් වහන්සේ රහසින්වත් පවු නොකළ හෙයින්ද සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වූ හෙයින්ද සංසාර චක්‍රයේ අර සිඳලු හෙයින්ද සියලු ලො වැසියන්ගේ ආමිස ප්‍රතිපත්ති පුජා සියල්ලටම සුදුසු වන හෙයින්ද අරහන් නම් වන සේක" මේ ආදී වශයෙන් බුදුගුණ මෙනෙහි කරන්න පටන් ගන්නවා. මේකත් යෝනිසෝමනසිකාරයක් තමයි. දැන් කාමාදිවශයෙන් ලෝභ ද්වේශ අරමුණු එන්නේ නැහැ මේක සිහිකරනකොට.ඒ බුදුගුණ හිත හිත ඉන්නකොට රුප ශබ්ද ගන්ධ රස පහස විෂයෙහි හිත දුවන්නේ නැහැ. ඒ නිසා ලෝභ හෝ ද්වේශ හෝ හිතට එන්න ඉඩක් නැහැ. හිත ආරක්ෂා කරලා තියෙන්නේ. එකත් හොඳ යෝනිසෝමනසිකාරයක්. ඊළඟට අපි පුරුදු වෙනවා සියලු සත්වයෝ සුවපත් වෙත්වා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා මෙත් වඩන්න පටන් ගන්නවා. මෛත්‍රී සිත පහල කර කර එබඳු සිත පහල කරන එකත යෝනිසෝමනසිකාරයක්.

තව දුරටත් එහාට ගිහිල්ල අපි මේ අරමුණු සුභ වශයෙන් බලන එක තමයි කෙලෙස් සහිත වෙන්නේ ලෝභ සිත් උපදින්නේ ද්වේශ සිත උපදින්න්නේ.ඒ නිසා අපි පුරුදු වෙනවා කේසා ලෝමා නඛා දන්තා තචෝ , තචෝ දන්තා නඛා ලෝමා කේසා මේ විදිහට පංචස්ඛන්දය කියන්න පුරුදු වෙනවා. වචනයෙන් කියනවා හිතෙන කියනවා.මේ කියන වෙලාවේදී යෝනිසෝ මනසිකාරය . මේ කියන වෙලාවේදී අපේ හිතට රැකවරණයක් තියෙනවා. ඒ නිසා මේකත් යෝනිසෝමනසිකාරයක්. හැබැයි මේක අතහරියගමන් ආපහු අර අපි ලිඳක බාල්දියකින් වතුර අස්කරන කල් ඒක හිඳිලා තියෙන්නේ.ඒක නවත්වපු ගමන ආපහු උල්පත්වලින් වතුර පිරෙනවා. ඒක කරනකල් හොඳයි නතර කලහම වතුර පිරෙනවා. මරණ සතිය ගැන සිහිකරනවා, මම මැරෙන කෙනෙක්, මේ ලෝකේ හටගත්ත හැම කෙනෙක්ම මැරුණා. ලොවුතුරා බුදුවරු මරණය ඉදිරියේදී පරාද උනා. මහා ප්‍රඥාවෙන් යුක්ත සැරියුත් හාමුදුරුවන්ට මරණය අත්උනා. මහා ඉර්ධි බල ලාභී මුගලන් හාමුදුරුවන්ට ඉර්ධි බලයෙන් මරණය දිනන්න බැරිඋනා. ධුතාංගධාරි මහා කාශ්‍යප හාමුදුරුවන්ට ධුතාංග බලයෙන් මරණය දිනන්න බැරිඋනා. බලදේව වැනි අයට බලයෙන් ශක්තියෙන් මාරු පරාද කරන්න බැරිඋනා. මේ වගේ නොයෙක් නොයෙක් තරාතිරමේ අය ලෝකයේ පහල උනා. ඒ කාටවත් මරණය පරාද කරන්න බැරිඋනා. මරුට පැරදුනා. ඉතින් මටත් ඒ මරණය උරුමයි. මගේ මවු දමවුපියන්ට, දුවා දරුවන්ට ස්වාමියාටද බිරිඳටද මරණය උරුම බව මෙනෙහි කල යුතුයි. මෙයද හොඳ මනසිකාරයක්. මීත් යෝනිසෝමනසිකාරයක්. අයෝනිසෝමනසිකාරයෙන් වෙන්වෙලා කෙලෙස් ආශ්‍රව උපදින්න තියන ඉඩ ආවරණය කිරීමක්. මෙහෙම හරි හිතනවානම් එකේ වටිනාකමක් තියෙනවා. ඒ යෝනිසෝමනසිකාරයක්.

දැන් අපි ආශ්වාසය ප්‍රශ්වාසය ආනාපානසතිය වඩනවා. මේ ආනාපාන සතිය වඩන එකෙත් රහස මෙතැනයි තියෙන්නේ. රුප ශබ්ද, ගන්ධ, රස, පහස පංච කාම අරමුණු වලට හිත ගියොත් ලෝභ ද්වේශ එනවා. ලෝභ ද්වේශ නුපදින අරමුණක් අපි තියාගත්තා හිත පිහිටුවාගන්න. හිත කෙලෙසන කිලුටුවන බව දන්න නිසා හිත අතහැරියොත් හිත කෙලෙසෙනවා. ආශ්‍රව උපදිනවා කෙලෙස් උපදිනවා අකුසල් උපදිනවා. ලෝභය හටගන්නවා. ද්වේශය හටගන්නවා. එනිසා අපි ලෝභ ද්වේශ හට නොගන්න අරමුණක හිත තියනවා. ආශ්වාස ප්‍රශ්වාසය ලෝභ ද්වේශයට වැටෙන අරමුණක් නොවෙයි. ඒ අරමුණේ හිත පිහිටුවනවා. හිත කෙලෙස වලින් පවිත්‍ර කරනවා, සුද්දකරනවා. මෙයද යෝනිසෝ මනසිකාරයක්.

ඉතින් මේවගේ සතලිස් කමටහනක් දේශනාවෙහි එනවා. දස අනුස්සති, බුද්ධා අනුස්සති, මෙත්තා අනුස්සති ත්‍යාගා අනුස්සති දෙවා නුස්සති මරණා අනුස්සති ආදී අනුස්සති. ඊළඟට කසින පඨවි කසින ආපෝ කසින, තේජෝ කසින වායෝ කසින ආදී කසින , ඊළඟට තියෙනවා නවසිහතික මැරිච්ච වෙලාවේ ඉඳල කුණුවෙලා ඇටකටු ටිකත් මහපොළවට පස් වෙලා යනකන් සිදුවෙන සිදිවිම දිහා බලාගෙන ඉන්නවා. සිවතික දස අසුබ කමටහන. මෙත්ත කරුණා මුදිතා උපේක්ෂා ආදී මෙන්න මේවාත් හොඳ මනසිකාරයන්. කෙලෙස ආශ්‍රව නුපදින්න පිහිටුවන්න පුළුවන් තැන්. හැබැයි මේවා ඔක්කොම යම් තාවකාලිකව හිත කෙලෙස වලින් යටපත් කිරීමක් කරගන්න පුළුවන්. ඒත් සමහර වෙලාවට සියලු ආශ්‍රව දුරුකරන්න බැහැ. දැන් ඔය අසුබ නවසිහතික යනාදී වශයෙන් බැලුවහම කාමාශ්‍රාවය දුරුකරගන්න පුළුවන්, යටපත් කරගන්න පුළුවන්. හැබැයි භව ආශ්‍රවය දුරුවෙන්නේ නැහැ. භව ආශ්‍රවය අවිජ්ජා ආශ්‍රවය දුරුවෙන්නේ නැහැ. දැන් ඔය කාම ආශ්රවයෙන් මිදිලා රුපි අරුපි බ්‍රහ්ම ලෝකවල මට්ටමට හිත වැඩුවත් දැන් කාම ආශ්‍රව නැහැ. ඒ යෝනිසෝමනසිකාරය තුල කාමාශ්‍රාවය නැහැ. රුපි බ්‍රහ්ම ලෝකයට එනකොට භව ආශ්‍රවය තියෙනවා. භවය පිළිබඳව ප්‍රාර්ථනාව තියෙනවා අත්හැරිලා නැහැ. අවිජ්ජාව අතහැරිලා නැහැ. දැන් අපිට ඕනේ කාම ආශ්‍රවය විතරක් නැතිකරන කමටහනක් නෙවෙයි. මේ කාමආශ්‍රාවය නැතිකරන කමටහන් බුදු දහමේ විතරක් නෙවෙයි අන්‍ය ශාසනවලත් තියෙනවා. විශේෂයෙන් හින්දු දහමේ හින්දු යෝගාවචරයන් යෝගිවරු ඒ ධ්‍යාන සමාපත්ති වදන අය අදත් ලෝකයේ ඉන්නවා. ඉන්දියාවේ හිමාල ප්‍රදේශයට ගියොත් ඒ ඇත්තෝ දකින්න පුළුවන් අදත්. හැබැයි ඒ කාමාශ්‍රාවය විතරක් යටකල්ලට වෙඩක් නැහැ අපි දන්නවා කාමලෝකයෙන් මිදුනත් රුප අරුප කියල කියන්නේ මේ භාවක්ත්‍රයට අයිති දෙයක්. ජාති ජරා මරණ සෝක පරිදේව දුක දොම්නස් ඇති තැන්. ඉතින් අපි මේ හැමදෙයක් අතරේම මේ මනසිකාරය මේ දහම හොයන්නේ මොකටද අපි අන්න එතන මතක තියාගන්න ඕනේ අපි හොයන්නේ ජාති ජරා මරණ සෝක පරිදේව දුක දොම්නස් වලින් මිදෙන්න තැනක්. දැන් මෙබඳු සාමාන්‍ය මනසිකාරයක් තුල ඒ සියල්ල නැතිවෙන්නේ නැහැ. මේ ඉන්න තැනින් මිදිලා ඉහලට යන්න පුළුවන් වේවි. දෙවුලොව තලවලට, බඹලොව තලවලට. එතනට ගියත් ජාති ජරාමරණයෙන් මිදුනේ නැහැ. ඇයි එතන භාවාශ්රව අවිජ්ජා ආශ්‍රව තියෙන නිසා. දැන් අපිට ඕනේ කාම ආශ්‍රව, භාව ආශ්‍රව, අවිජ්ජා ආශ්‍රව කියන මේ තුන් ආශ්රවයෙන්ම දුරුවන්න. එහෙම දුරුවෙන ප්‍රතිපදාවකුයි අපි දැන් හොයන්නේ. අන්න ඒ ආශ්‍රව දුරුවෙන ප්‍රතිපදාව හමුවෙනකොටම ඒ හමුවෙන දහමත් එක්කම තවත් ආශ්රවයක් ඉතුරුවක්‌ නැතිවම දුරුවෙලායනවා ඒ දිට්ඨාශ්‍රවය. ඒ දිට්ඨාශ්‍රවය දුරුවෙලා යන දැක්මක් යෝනිසෝමනසිකාරයක් තමයි අපි හොයාගන යන්නේ.අන්න ඒ සොයාගෙන යන ගමනේදී අපිට හම්බවෙනවා අවස්ථා දෙකක්. මේ වැඩපිළිවෙලේ අවස්ථා දෙකක් තියෙනවා. නුපන් මාර්ගය, නුපන් දර්ශනය උපදවා ගැනීම. උපදවාගත් දර්ශනය භාවිතයට ගැනීම. කියන අවස්ථා දෙකක් තියෙනවා. නුපන් මාර්ගය, නුපන් දර්ශනය උපදවා ගැනීම කියන කාරනාව එක කොටසක්. ඒකට පුර්ව ප්‍රතිපදාව, ආදී බ්‍රහ්ම චරියාව කියල කියනවා. ඒ සඳහා යෙදෙන්න ඕනේ මනසිකාරයන් තියෙනවා නා නා විධ. ඊළඟට තියනවා මාර්ගය උපදවාගෙන දර්ශනය පහලකරගෙන ඒ අනුව සෙසු ආශ්‍රව ක්ෂයකිරිම සඳහා යායුතු ගමන් මගක් තියෙනවා එතනට කියනවා බ්‍රහ්ම චරියාව හෙවත් ප්‍රතිපදාව කියල.

දැන් ඔන්න අපි මෙතන දෙකට බෙදා ගන්න ඕනේ, ප්‍රතිපදාව හා බ්‍රහ්ම චරියාව කියන්නේ එක පැත්තක්, ආදී බ්‍රහ්ම චරියාව හෙවත් පුර්ව ප්‍රතිපදාව කියන්නේ තව පැත්තක්. දැන් අපි ඉන්න තැන ඉඳල ඒ ප්‍රතිපදාවට යන්න බ්‍රහ්ම චරියාවට යන්න පාරක් ඕනේ. දැන් අපි උදාහරණයක් නිදර්ශනයක් හැටියට ගන්න මේ වත්ත කෙරවලෙන් තියෙනවා ආසන්නයේ තියෙනවා අලුතෙන් හදපු අධිවේගී මාර්ගයක්. හිතන්න ඔය අධිවේගී මාර්ගය තමයි නිවන් පුරට යන පාර කියලා. දැන් අපි ඉන්නේ මෙතන. ඒ අධිවේගී මාර්ගය තියෙන්නේ අතන. දැන් අපි ඉන්න තැන ඉඳල එතෙන්ට යන්න පාරක් ඕනේ නේද අපිට? මෙතනින් ගිහිල්ල අහසෙන් පාත්වෙන්න බැහැනේ එතෙන්ට. අපි දැන් මෙතන ඉඳල එතනට යන්න පාරක් ඕනේ. අන්න අපි මෙතන ඉඳල එතනට යන්න හදන පාර තමයි අපි ආදිබ්‍රහ්ම චරියාව පුර්ව ප්‍රතිපදාව කියල කියන්නේ. ඒ ප්‍රධාන මාවතට යන්න පිට පුංචි පාරක් ඕනේ. එකේ ගිහිල්ලයි, ආ අධිවේගී මාවතට නිවන් පුරට යන පාරට වැටෙන්න පුළුවන් වෙන්නේ. දැන් ඔන්න එතකොට පාරවල් දෙකක් තියෙනවා. මෙතන ඉඳල එතනට යන පාරක් තියෙනවා. එතන ඉඳල නිවන් පුරට යන පාරක් තියෙනවා. දැන් මාර්ගය කියල කියන්න ඕනේ ඔය පාරාවක් දෙකෙන් කොයි එකටද? මාර්ගය කියල කියන්නේ ප්‍රධාන මාර්ගයේ යනවනම් විතරයි. අපි මග වඩනවා, මාර්ගයේ ඉන්නවා කියල කියන්න පුළුවන් වෙන්නේ අර ප්‍රධාන මාවතට ගියාට පස්සේ.එතනට යනකල් අපි මාර්ගස්තයි, අපි මාර්ගයේ ඉන්නවා කියල කියන්න අයිතියක් නැහැ අපි කාටවත්. ඒ පාරට වැටුනට පස්සේ අපි මාර්ගස්තයි, අපි මාර්ගයේ ඉන්නවා ඒකායන මගේ ඉන්නවා ඒකාන්තයෙන්ම නිවන් පුරට යන පාරේ ඉන්නවා.දැන් අපි මෙතන ඉඳල එතනට යන පාර හදාගන්න ඕනේ ඉස්සෙල්ලා. එකත නිකම් බැහැ. දැන් අපි මෙතන ඉන්න තැන වනාන්තරේ කැලේ. මංමුලාවෙලා ඉන්නවා. පඹගාලක පැටලිලා ඉන්නවා වෙන්න පුළුවන්. දැන් අපිට මේ මාවත ගැන අහන්න ලැබෙනවා, ඔන්න මේ ආසන්නයේම තියෙනවා ප්‍රධාන පාරක් නිවන් පුරට යන පාරක්, මාවතක් තියෙනවා ඉදිවෙලා. දැන් ඔබත් යන්න ඒ මාවතට ගිහිල්ලා වැටුනොත් ඔබටත් ඒකාන්තයෙන්ම පුළුවන් මේ ජීවිතේම නිවන් පුරට යන්න කියන ඉගැන්වීම කවුරුහරි කරනවා. දැන් ඔන්න ඔබටත් අවශ්‍යතාවය නැගෙනවා අනේ එහෙනම් මමත් යන්න ඕනේ ඒ මාවතට , ඒ පාර හොයාගන යන්න ඕනේ.දැන් ඒ පාර හොයාගන යන්න නම් දැන ඔබ මෙතන කාලයක අතරමං වෙලා ඉන්නේ.දැන් ඔබට යන්න දස දිශාවක් තියෙනවා. දැන් ඔබ දන්නේ නැත්නම් පාර තියෙන්නේ දකුණේද උතුරේද නැගෙනහිරද බටහිරද කොහෙද කියල දන්නේ නැත්නම්? යන්න කියල ඔබ හැරෙන්න පුළුවන් පාර තියෙන පැත්තට නෙවෙයි වෙනත් පැත්තකට. එහෙම හැරුනොත් දැන් ඔබ පාරක් හද හදා යනවා හැබැයි ඔබ යන්නේ ඒ අධිවේගී පාර පැත්තට නෙවෙයිනම් ඔබ පියවරක් පියවරක් පාසා ඒ ප්‍රධාන මාර්ගයෙන් ඉවතටයි යන්නේ .ඒ නිසා දැන් ඔන්න අපිට එතන දැක්මක් වගේම මෙතනත් දැක්මක් ඕනේ. ඒ අධිවේගී මාවතට යන්න දැක්මක් ඕනේ. මෙන්න මේ පැත්තයි තියෙන්නේ , මෙන්න මෙහෙමයි යන්න ඕනේ කියන ක්‍රමයක් සැලැස්මක් ඕනේ. ඒකට යන පාර තොට පිළිබඳව කාගෙන් හරි කල්‍යාන මිත්‍රයෙකුගෙන් ,දන්නා කෙනෙකුගෙන් අහගන්නම වෙනවා. අහගන්නේ නැතිව ගියොත්, අපිත් දන්නවා ඒ පාරට යන්න කියල පාරට බැස්සොත් යන තැන දන්නේ නැහැ. ඒ මාවත මොකක්ද කියල දන්නේ නැහැ. තවත් මොකක් හරි අධිවේගී මාවතක් හම්බවෙයි ඒක දිගේ යයි.ඒ නිසා අපි හරිම පාර අහගන්න ඕනේ. දැනගන්න ඕනේ. අපට යම් තැනකට යන්න අවශ්‍යනම් ඒ අවශ්‍ය තැනට යන්න ලිපිනය ඕනේ. ලිපිනය හම්බඋනොත් අපිට පුළුවන්කම තියෙනවා හරි තැනට නිවැරදිම යන්න. ලිපිනය නැත්නම්, යනවා කියන කාරනාව වෙන්න විදිහක් නැහැ කවදාවත් . දැන් එනිසා ඔන්න අපිට අර මාර්ගයට පිලිපන්නාට පසුව භාවිතාවෙන යෝනිසෝමනසිකාරයක් තියෙනවා, ඒකතමයි අපි අර අවසානයේදී කිවුවේ,

“ඉධං දුක්ඛංති යෝනිසෝමනසිකරෝති - අයං දුක්ඛ සමුදයෝති යෝනිසෝමනසිකරෝති - අයං දුක්ඛ නිරෝධෝති යෝනිසෝමනසිකරෝති - අයං දුක්ඛ නිරෝධගාමිණි පටිපදා යෝනිසෝමනසිකරෝති”

චතුරාර්ය සත්‍ය පිළිබඳව දැක්ම සම්මා දිට්ඨිය ලෝකෝත්තර මාර්ගය හම්බවෙන්නේ එතන. දැන් අපිට එතනට යන්න ඕනේ. ඒ දක්වා යන්න පාරක් මාවතක් අපිට ඕනේ කරනවා. අන්න ඒ මාවත පිළිබඳවයි අපි ඉස්සෙල්ලාම කතාකලේ . ඒ මාවතට තමයි අපි අර ඉස්සෙල්ල කතාකරපු ටිකත් අයිති කරගන්න පුළුවන් වෙන්නේ. හැබැයි නිකම්ම නෙවෙයි, ඒ පිළිබඳව ඇති පුර්ව දැනුම අනුවයි තීරණය කරන්න වෙන්නේ ඒවා ඒ සඳහා යොමු වෙලා ඇත්ද කියලා.

එහෙනම් අපි දැන් ඉන්න තැන ඉඳල එතනට යන්න මොකක්ද කරන්නේ? යායුතු ගමන් පිළිවෙත කුමක් විය යුතුද? මොනවගේ ක්‍රමයක්ද අපි අනුගමනය කරන්නේ? දැන් අපි හුඟාක් දෙනෙක් නිවන් දැකීමේ අරමුණ ඇතිව ලෝකෝත්තර මාර්ගය වඩන්න, ආශ්‍රව ක්ෂය කරන්න සක්ඛාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස ආදී සංයෝජන ධර්ම දුරුකරන්න කියල අපි යම් යම් වැඩපිළිවෙලවල් ජිවිතයේ මෙතෙක් අනුගනය කරලා තියෙනවා. දැන් බලන්න ඕනේ ඒ අනුගමනය කරපු වැඩපිළිවෙලවල් ඒ මාර්ගය අරමුණු කරගෙන ඒ දිශාව අරමුණු කරගෙනද අපි භාවිත කරලා තියෙන්නේ කියලා. එහෙම භාවිත වෙලා තියෙනවනම් ආයෙත් ප්‍රශ්නයක් නැහැ කරුණු විමසන්න දෙයක් නැහැ එහෙම්මම ඒ පැත්තටම තව ටිකක් ඉක්මනින් යන එකයි තියෙන්නේ. එකේ අඩුවක් වැරද්දක් තියෙනවනම් විතරයි අපි ඒ ගැන ටිකක් වැඩි වැඩියෙන් යමක් කතා කරන්න වෙන්නේ.

හොඳයි, දැන් අපි මුලින්ම කතාකලා ලෝකය පිළිබඳව තියෙන ආකල්පය හා සංකල්පය පිළිබඳව බුදුරජානන් වහන්සේ අපිට ලෝකෙට දේශනා කරපු ධර්මය පිළිබඳව. අපට මුළු ලෝකයම අපි දකිනවා කාම වශයෙන්, ප්‍රිය මධුර ස්වභාවය. බුදුරජානන් වහන්සේ අපිට දේශනා කරන්නේ ඊට හාත්පසින්ම ප්‍රතිවිරුද්ධ ධර්මතාවයක් හැටියට. ලෝකයම නිත්‍ය වූ සුඛ වූ ආත්මවූ සුභවූ ආකාරයෙන් දකින ලෝකයට බුදුරජානන් වහන්සේ දේශනා කරනවා අනිත්‍යවූ දුක් වූ අනාත්ම වූ අසුභවූවක්ය ලොව ඇත්තේ කියලා. දැන් බුද්ධ දේශනාවයි ලෝකේ පිළිගැනීමයි අතරේ වෙනසක් තියෙනවා. දැන් අපි පළමුකොටම කරන්න ඕනේ මේ වෙනස හඳුනාගන්න එක. මෙන්න මේ වෙනස ඒ ආකාරයෙන්ම හඳුනාගන්න තමයි බුදුරජානන් වහන්සේ අපට සතර සතිපට්ඨානයක් පනවල තියෙන්නේ. සතර සතිපට්ඨානේදී සිද්ධ වෙන්නේ මෙන්න මේ ලෝකයේ තියෙන පිළිගැනීමත් බුදුරජානන් වහන්සේගේ දේශනාවත් සසඳා බැලීමක්. අපි මේ ලෝකයේ මේ රුපය ප්‍රියවූ ස්වභාවයෙන් මධුර ස්වභාවයෙන් දකිනවා. ලස්සනයි හොඳයි සැපයි කියල දකිනවා. නිමිත්තන්වා, එහෙම නැත්නම් අනුනිමිති, අනුව්‍යංජනත්වා. එක්කෝ මුළු රුපයම ලස්සනයි කියල ගන්නවා. එහෙම නැත්නම් ඒ කොන්ඩේ හරි ලස්සනයි ඒ මුණ හරි ලස්සනයි ඒ ඇස් දෙක හරි ලස්සනයි ඒ ඇඟහරි ලස්සනයි ඒ අත් ලස්සනයි ඒ දෙපා ලස්සනයි මොනවහරි ලස්සනයි කියල අරගන්න බවක් තියෙනවා. අපි සුභ වශයෙන් ලස්සනයි සුභයි කියලයි මේ දකින්නේ.

ඉතින් බුදුරජානන් වහන්සේගේ දහම සුභ නැහැ අසුභයි. දැන් අපි පරික්ෂා කරලා බලනවා ඇත්තට සුභද අසුභද? නිත්යද අනිත්‍යාද? ආත්මද අනාත්මද? දුකද සැපද? අපිට මෙන්න මෙබඳු පර්යේෂණයකට යන්න වෙනවා. ඇයි මෙහෙම යන්න වෙන්නේ කියන කාරණය ඉස්සෙල්ල ඉපදිලා තියෙන්න ඕනේ. දැන් අපි හැමදෙනාම සතර සතිපට්ඨානය වඩනවා. ඇයි මේ සතර සතිපට්ඨානය මෙහෙම වඩන්නේ? අන්න අපේ පාර දිහාවට හැරිලද කියල තීරණය වෙන්නේ අන්න ඒ දැක්ම මත. ඇයි මේක බලන්නේ? ඇයි ඔබ අශ්වාශ ප්‍රශ්වාසය දිහා බලන්නේ? ඇයි කෙස් ලොම් නිය සම මස නහර ආදී වශයෙන් මේ දෙතිස් කුණුප වශයෙන් බලන්නේ? ඇයි නවසිහතික වශයෙන් ධාතු වශයෙන් මේ කය බලන්නේ? වේදනා සංඥා සංඛාර අනිත්‍ය වශයෙන් බලන්නේ ඇයි? දැන් අපි තේරුම අරගෙන තියෙන්න ඕනේ, ඔන්න මේවා අනිත්‍ය වශයෙන් බැලුවහම තමයි නිවන් දකින්නේ කියල අපි අහගත්ත තරමින් මේක භාවිතා කලොත් මේක අසම්පුර්නයි. අපි දැනගනමයි මේ කටයුත්ත කරන්න ඕනේ. ඇයි මෙහෙම බලන්නේ? හේතුව විසඳ ගන්න ඕනේ. අන්න කල්‍යාන මිත්‍ර ආශ්‍රය සද්ධම්ම ශ්‍රවනය කරලා තියෙන්න ඕනේ. අපි අනුමාන දහමක් මේ කල්‍යාන මිත ආශ්‍රය තුල හඳුනා ගන්නවා. මේ ලෝකය මේ සසර දුකයි. මේ දුකට හේතුව තණ්හාවයි. තන්හාව නැති කලොත් එතන නිවනයි. නිවන් ලබන මගයි මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියල අපි අහගත්තා, ඉගෙනගත්තා. දැන් අපි දුකයි කියල කියනවා,
මොනවද දුකයි කියල කියන්නේ? රුපය දුකයි, වේදනාව දුකයි, සංඥාව දුකයි, සංඛාරය දුකයි, විඤ්ඤාණය දුකයි. ඇස දුකයි, දිව නාසය කන ශරීරය මනස දුකයි. ඒවාට හේතුව තණ්හාවයි කියල තියනවා. දැන් අපි පොතෙන් අහල ඉගෙනගෙන කියවලා තියෙනවා. හැබැයි අපි ඉන්නේ එතනද? ඇහැ අපිට දුකක්ද? ඇහැ තිබුනත් දුකක් නැතිඋනත් දුකක්. ඇහැ දිරනවා, දිරන එක නොපෙනියන එක සැපක් නෙවෙයි. ඇහැ ලෙඩවෙනවා. ලෙඩවෙන ඇහැ සැපක් නෙවෙයි. ඇහැ නොපෙනී යනවා අන්ධ වෙනවා මැරෙනවා, මරණය කෙලවර කොට පවතිනවා, ඒක සැපක් නොවෙයි. ඇහැ නිසා අප්‍රියයන් හා එක්වීම වෙනවා ඒ ඇහැ සපක් නොවෙයි. ඇහැ නිසා ප්‍රියයන්ගෙන් වෙන වෙන්න වෙනවා. ඒ අවස්ථාවේ ඇහැ සැපක් නොවෙයි. ඇහෙන බලාපොරොත්තුවෙන ඩේ නොලැබි යනකොට ඇහැ සැපක් නොවෙයි. සෝක පරිදේව දුක දොම්නස් එනකොට ඇහැ සැපක් නොවෙයි. ඇස දුකක්මයි. හැබැයි එත ඇහැ නැතිවෙන්න යනකොට ඇහැ අන්ධ වෙන්න යනකොට අපි මුළු ධනයම වැයකරලා හරි ඇහැ බේරගන්න බලනවා.ජිවිතයේ කොටසක් පරිත්‍යාග කරලා හරි කපාදාළ හරි ඇහැ බේරගන්න පුලුවන්නම් ඇහැ බේරාගන්නවා. ඇයි ඇහැ නැති එකත දුකක් ලෝකෙට. ඇහැ අතිඋනත් දුකමයි වෙන්නේ ඇහැ නැතිඋනත් දුකක්මයි වෙන්නේ. කන නාසය දිව ශරීරය මේවත් එහෙමයි. ඇතත් දුක නැතත් දුක. ඉතින් මෙබඳු දුක සහිත ඇහැ අපිට මධුරවූ ප්‍රිය ස්වභාවයෙනුයි හමුවෙලා තියෙන්නේ. දැන් ඔන්න අපි යෝනිසෝ මනසිකාරය යොදාගන්නවා මෙන්න මේ හේතුව මත. මොකක්ද හේතුව? අපි තන්හාවෙන් බැඳිලා ඉන්නවා, තන්හාවෙන් උපාදාන කරගෙන ඉන්නවා යමක්. මොනවද තන්හාවෙන් අල්ලගන තියෙන්නේ? ඇහැ මම මගේ මගේ ආත්මය.කන නාසය දිව ශරීරය මම මගේ මගේ ආත්මය. එහෙම නැත්නම් රුපය වේදනාව සංඥාව සංඛාරය විඤ්ඤාණය මම මගේ මගේ ආත්මය. එකක්හෝ පහම හෝ මම මගේ මගේ ආත්මය කියල අල්ලාගෙන තියෙනවා. මම කියනකොට මානය, මගේ කියනකොට තන්හාව, මගේ ආත්මය කියනකොට දෘෂ්ඨිය, තෘෂ්ණා දෘෂ්ඨි මාන, මේ දුක්ඛ සමුදය. තෘෂ්ණා දෘෂ්ඨි මාන වශයෙන් අපි තන්හාවෙන් අල්ලගන ඉන්නේ මොකක්ද? රුප වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ. එහෙම නැත්නම්, ඇස රුපය චක්ඛු විඤ්ඤාණ සම්ඵස්ස වේදනා සංඥා රුපසංචේතනා. මේ ටික තමයි ආත්ම කොටගෙන ඉන්නේ.