මගධ රට තිත්ථගම, කපිල නම් මහා ධනස්කන්ධයක් හිමි බ්‍රාහ්මණයාගේ එකම පුතු “පිප්පලී” නමින් නම් තැබුනා. අනාගතයේ පරම්පරාව රැක ගැන්මට සිටි එකම පුතාව මාපියන් විසින් මහත් ආදරයෙන් පෝෂණය කරනු ලැබුවා.
නමුත් ඔහු ගිහි ජිවිතයේ කාමභෝගි යස ඉසුරු හා සැප සම්පත් ගැන පොඩ්ඩක්වත් උනන්දුවක් දැක්වූයේ නැහැ. ඔහුට ජිවිතයේ යථාර්ථය සෙවීමට ලොකු අදහසක් ඇතිවයි සිටියේ. තරුණ වියට පත් ඔහුට දෙමාපියෝ විවාහයක් කර දීමට කඩිනම් උනා. එහෙත් ඔහු විවාහයට කැමති උනේම නැහැ. එය මගහැරිය නොහැකිවූ විට මේ රූමත් තරුණයා, යුවතියකගේ රුවක් රනින් සාදවා මේ රුව හා සම කල හැකි කතක් වෙතොත් මම ඇය හා විවාහ වන බව දෙමවුපියන්ට දන්වා සිටියා.එය ඔහු කලේ උපක්‍රමයක් විදිහටයි, ඔහු දැන සිටියා කෙසේවත් එවන් යුවතියක් ඔවුනට හොයගන්න බැරිබව.
දෙමාපියෝ එයින් ගොඩක් සතුටු උනා. ඒ විතරක් නෙවෙයි, මේවගේ යුවතියක් සිටින තැනක් ඉක්මණින් සොයා දන්වන ලෙස රන්රුව බමුණු පිරිසකටත් භාර දුන්නා. ඔවුන් රන් රුව අරගෙන ගොඩාක් තැන්වල ඇවිද්දා. එක් ගම්මානයකදී මදුරට සාලග නුවර කෝසිය කුලයෙහි ගොඩාක් ධනවත් බමුණු පවුලක මේ කියන විදිහේම රූපශ්‍රීයෙන් යුත් යහපත් යුවතියක් සිටින බව ඔවුනට දැන ගන්නට ලැබුණා. ඔවුන් පුලුවන් ඉක්මනින් ගොස් විස්තර සොයා ගත්තා. භද්දකයිලානි නම් වූ ඇය ගැන වහාම පිප්පිලීගේ දෙමාපියන්ට දන්වනු ලැබුනා. දේපාර්ශවයේ දෙමාපියෝ එක්ව සාකච්ජා කොට සතුටුව පිප්පලීට එම කුමරිය විවාහ කර දුන්නා. නමුත් භද්දකයිලානිද ගිහි සැපත ගැන එතරම් ඇල්මක් දක්වපු තැනැත්තියක් නොවේ. මේ ගැන කථාබහකොට එකඟත්වයකට පත් වුනු දෙදෙනා විවාහකයන් ලෙස ස්වාමි භාර්‍ය්‍යාවන් වශයෙන් පෙනී සිටිමින් , එහෙත් බ්‍රහ්මචාරීව දිවි ගෙවුවා.
එක් දිනක කුඹුරු සාමින් සිටියදී ලියදිවල උඩට මතු වූ පනුවන් කුරුල්ලන් ඩැහැගන්නා විදිහ දුටු පිප්පිලිද තව දිනෙක මිදුලෙහි තල වේලමින් ඉන්නාවිට එහි සිටි පනුවන් කුරුල්ලන්ට ගොදුරුවෙනවා දුටු භද්දකයිලානිද ජීවිතය ගැන හොඳටම කලකිරුනා.දෙන්නම කථාකරගෙන පැවිදි වන්නට තීරණය කර ගත්තා. පිප්පිලි සතුව තිබුනු මහා ධන සම්පත් හා භද්දකයිලානිය විවාහවනවිට දායාද වශයෙන් ලැබුනු සියලුම ධනස්කන්ධය අතහැරදමා පැවදි වෙන්න පිටත් උනා. ඒ බව ඇසු කපිලානියද ගිහිගෙය අත් හැර ගොස් පැවදි උනා.
පැවිදි විමට අධිෂ්ඨාන කරගෙන ඉදිරියට ගිය පිප්පලිට අතරමගදී බහුපුත්තික නුග වෘක්ෂ සෙවනේ වැඩවුන් බුදුරජාණන් වහන්සේ මුණ ගැසුණා. බුදුරදුන් ඉදිරියේ පැවිදි වීමට කැමැත්ත පල කළ පිප්පිලීට බුදුරජාණන් වහන්සේ අතරමගදීම මහණ උපසම්පදාව පිරිනැමුවා.
මහා කාශ්‍යප නමින් පැවිද්ද ලැබු උන්වහන්සේ බුදුරදුන් වෙතින්ම තෙළෙස් ධුතාංග ඉගෙන සමාදන්ව, ධුතවාදී සිත වැඩිමෙන් පැවිද්දෙන් අටවැනි දිනයේ අර්හත්වයට පැමුනුනා.
බුදුරජාණන් වහන්සේගේ සිරුරෙහි මහා පුරුෂ ලක්ෂණ තිස්දෙකක් වූ අතර මහාකාශ්‍යප තෙරුන්ගේ සිරුරෙහි මහා පුරුෂ ලක්ෂණ සතක් වූ බව කියවෙනවා. බුදුන් වහන්සේ සහ මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ රූපයෙන් ගොඩක් එක සමාන බව පොත පතෙහි දැක්වෙනවා.සමහර දිනවල මහාකාශ්‍යප තෙරුන් මග වැඩම කරන විට බුදුරජාණන් වහන්සේ වැඩම කරති’යි සිතා සමහරු නොයෙක් අයුරින් ගෞරව කරන්නටත් නොයෙක් දේ පූජා කල අවස්ථා ද තිබුනා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති අප්‍රමාණ ගෞරවය නිසා මහාකාශ්‍යප තෙරුණුවන් ගමේ විසීම හැර අරණ්‍යගතව ශිෂ්‍ය පිරිස් පිරිවරා ධූතවාදීව ජිවත්වූන බව කියවෙනවා.බුදුරජාණන් වහන්සේ විසින් මහාකාශ්‍යප තෙරණුවන්ට ධුතවාදි භික්ෂුවරයන් අතරින් අග්‍රස්ථානයද පිරිනමන ලදී.
සම්බුද්ධ පරිනිර්වාණ්යේදී මහා කාශ්‍යප තෙරුන් එම ස්ථානයට වඩින තුරු චිතකයේ ගිනි දැල්වීම සිදු කල නොහැකිව සිටි බවත් උන් වහන්සේ එම ස්ථානයට වැඩම කල පසු ආශ්චර්යමත් ලෙස දෙණය විවරව සම්බුදු සිරිපතුල උන් වදන්සේට වන්දනා කිරීමට හැකිවූ මවත් ඉන්පසු මහා කාශ්‍යප තෙරුන් වහන්සේ චිතකයේ ගිනි දැල්වූ බවත් දැක්වෙනවා.
“සුභද්‍ර” නම් භික්ෂුවගේ ප්‍රකාශයක් නිසා මෙන්ම ධර්‍මයෙහි චිරස්ථායි බව සඳහා පරිනිර්වාණයෙන් තුන් මසක් ඉක්ම ගියාට පසු, ඒ වනවට පිරිනිවන් නොපා සිටි මහ රහතන් වහන්සේලා එක් කොට, ධර්‍මය අනාගතයෙහි සුරක්ෂිතව පැවැත්වීමට සාර්ථක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මහා කාශ්‍යප තෙරුන් වහන්සේ මහඟු සේවයක් ඉටු කලා.ධර්‍ම විනය දෙක නිසි පරිදි පිලියෙල කර සංඟායනා කොට එය චිරාත් කාලයක් පවතිනු සඳහා කොටස් ලෙස කටපාඩමින් ආරක්ෂා කර ගැනීමට එහිදී ශිෂ්‍ය පරපුර වෙත පවරන ලදී. සප්ත පර්ණී ගුහාවෙහි පැවති මෙම පලවෙනි ධර්ම සංඟායනාවට ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේ මහාකාශ්‍යප මහරහතන් වහන්සේය. එතුමා මූලික නොවූවානම් ත්‍රිපිටක ධර්‍මය අනාගතය උදෙසා සුරක්ෂිත නොවන්නට බෙහෙවින් ඉඩකඩ තිබුනා.
No comments:
Post a Comment