Thursday, February 3, 2011

සැරියුත් මහ රහතන්වහන්සේ සහ මුගලන් මහ රහතන් වහන්සේ

ඔයාල හැමෝම දන්නව අපේ හැම පන්සලකම වාගේ බුදු රජානන්වහන්සේගේ බුදු පිලිමය දෙපසින් ඉතා ශානිතව වැඩසිටින පිලිම වහන්සේ දෙනම, ඒ අග සව් දෙනම වන සැරියුත් මහ රහතන් වහන්සේ සහ මුගලන් මහ රහතන් වහන්සේයි. එයින් බුදු රදුන්ගේ දකුණු පසින් වැඩ සිටින්නේ අපේ සාරිපුත්ත හෙවත් බුදු රජානන් වහන්සේගේ දකුණත් සව් ලෙසින් හැදින්වෙන සැරියුත් මහ රහතන් වහන්සේ නමයි. ඒ වගේම බුදු රදුන්ගේ වම් පසින් වැඩ සිටින්නේ අපේ මොග්ගල්ලාන හෙවත් බුදු රජානන් වහන්සේගේ වමත් සව් ලෙසින් හැදින්වෙන මුගලන් මහ රහතන් වහන්සේ නමයි.

ඉන්දියාවේ රජගහනුවරට කිට්ටුව උපතිස්ස සහ කෝලිත කියලා කුඩා බ්‍රහ්ම ගම්මාන දෙකක් තිබුනා. එයින් තමයි මේ කතාව පටන් ගන්නේ. උපතිස්ස ගම්මානයේ "සාරි" නම් වූ බ්‍රහ්ම කාන්තවකට පුත් රුවනක් ලැබුණු දිනයේම කෝලිත ගම්මානයේ ගම් ප්‍රධානියාගේ බිරිඳ වූ "මොග්ගලී"නම් බමුණු කාන්හාවකට තවත් පුත් රුවනක් ලැබුණා. මේ දෙදෙනාට උපතිස්ස සහ කෝලිත කියලා නම් තැබුනා. පරම්පරා 7ක් තිස්සේ මේ පවුල් ඉතා ලඟින් ඇසුරු කල නිසා කෝලිත සහ උපතිස්සත් ඉතා හොඳ යහලුවන් උනා. ඉතා හොඳින් අධ්‍යාපන කටයුතු කල මේ දෙදෙනා ගමන් බිමන් ගියේත් ක්‍රීඩා කලේත් විනෝද උනේත් එකටමයි. සෑම වසරකම නගරයේ ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන "ගිරග්ග සමජ්ජ" නම් නාට්‍ය සන්දර්ශනය බැලීමට මේ දෙදෙනාද නොවැරදීම සහභාගී වුනා. එක් වසරකදී "ගිරග්ග සමජ්ජ" නැරඹීමෙන් පසු යහලුවන් දෙදෙනා තුලම ජීවිතය පිලිබඳව ලොකු කලකිරීමක් ඇතිඋනා.ජීවිතයේ සැබෑ සතුට හා හරය කුමක්දැ’යි සොයා බලන්නට මේ තරුණයන් දෙදෙනා තුලම අදහසක් පහළ උනා.ඉන් පසු ඔවුන් දෙදෙනාම තම පිරිසෙන් කොටසක් ද සමග එවක ප්‍රකට ආචාර්යවරයකුව සිටි සංජය පිරිවැජියා කරාගොස් එතුමාගේ ධර්මය ඉක්මනින් හදාරා නිම කලා.එහෙත් ඔවුන් බලාපොරොත්තු උන විමුක්තිය එහි නැතැ’යි ඔවුනට තේරුම් ගියා.

ඉන් පසු දෙදෙනා දෙපැත්තකට බෙදී වෙන්වී ගියේ කවරෙකුට හෝ මුලින් නව දහමක් දේශනා කරණ ශාස්තෘවරයෙකු මුණගැසුණ හොත් වහා අනෙක් තැනැත්තාටද දන්වන බවට කතා කරගෙනයි.

එක් දිනක උදෑසන සන්සුන් ගමනින් යුතුව පිඬු සිඟා වඬින සංසිදුණු පැවිදි ආචාර්ය වරයකු දුටු උපතිස්ස පරිබ්‍රාජක තුමා උන්වහන්සේ පසු පස ගොස් උවටැන් කොට දන් වළදා අවසානයේ "ඔබවහන්සේ තුල දක්නා ලැබෙන මේ සංසිඳිම කවර නම් ශාස්තෲවරයකු ඇසුරෙන් ලැබුවේද" යි ඇසුවා.

තමන් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිපදින, උන්වහන්සේ වෙතින් පැවිද්ද ලද, භික්ෂුවකැ’යි විස්තර කළ අස්සජි තෙරණුවෝ තම ශාස්තෲවරයා ගැන ප්‍රකාශ කරමින්,

"යේ ධම්ම හේතුප්පභවා - තෙසං හෙතුං තථාගතො ආහ
තෙසඤ්ච යෝ නිරෝධො - ඒවං වාදි මහා සමණෝ"

"යම් ධර්මයක් හේතුන් ප්‍රභාව කොට ඇත්තේද , එහි හේතුව තථාගතයන් වහන්සේ වදාරණ සේක. එහි නිරෝධය ද තථාගතයන් වහන්සේ ප්‍රකාශ කල සේක. බුදුහු එබඳු වාද ඇති කෙනෙකි"
යි ධර්මරයද කෙටියෙන් හඳුන්වා දෙමින් බුදුරජානන් වහන්සේව හඳුන්වා දුන්නා.

උපතිස්ස පරිබ්‍රාජකයා එම ගාථාව ඇසීමෙන්ම සෝවාන් ඵලයෙහි පිහිටියා. ගෞතම බුදුරජාණන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන බව අස්සජි තෙරුන්ගෙන් අසා දැනගත් ඔහු වහා ගොස් යහළු කෝලිතයන්ටත් එම පණිවිඩය දැන්වූවා. එම ගාථාව ඇසීමෙන්ම කෝලිත තෙමේද සෝවාන් ඵලයෙහි පිහිටියා.

පසුව සංජය ආචාර්යවරයා සොයාගෙන ගිය ඔවුන් බුදුරදුන් ලොව පහළ වී ඇති බවත්, උන්වහන්සේ විශිෂ්ඨ ධර්මයක් දේශනා කරන බවත් ප්‍රකාශ කර සිටියා. එම දහම ඇසීමට එහි යාමට ඔහුටද ආරධනා කළ නමුත් ඔහු ඊට එකඟ උනේ නැහැ. එහෙත් ඔහුගේ පිරිස දෙසිය පනහක් දෙනා සමඟ බුදුරදුන් හමුවන්නට ගිය ඔවුන් සියලු දෙනාටම ඒහිභික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදාව ලැබුනා. උපතිස්ස සැරියුත් තෙරුන් නමින්ද, කෝලිත මුගලන් තෙරුන් නමින්ද ප්‍රසිද්ධ වුනා.

සැරියුත් තෙරණුවන් පැවිද්දෙන් අඩ මසක් ගෙවෙද්දී රජගහනුවර සූඛරකත ලෙනෙහිදී බුදුරදුන් විසින් දීඝනඛ පරිබ්‍රාජකයාට දේශනා කරන ලද වේදනා පරිග්ගහ සූත්‍රය අසා රහත් බවට පත්වුනා.

ගැඹුරු දහම් කරුණු බුද්ධියෙන් වටහාගෙන එය සරළ ලෙස දේශනා කිරීමේ විශේෂ බුද්ධි මහිමයක් සැරියුත් තෙරුන් තුල තිබුනා. මේ නිසා මහා ප්‍රාඥයන් අතුරෙන් අග තනතුර ද, ධර්මය අන් අයට වටහා දෙමින් එයින් ප්‍රයෝජන ලබා ගැන්මට සලස්වමින් ක්‍රියා කිරීම නිසා ධම්මසේනාධිපති තනතුරද, බුදුරජාණන් වහන්සේ විසින් සැරියුත් තෙරුණ්ට පිරිනමනු ලැබුනා. සෘද්ධිමතුන් අතරින් අග්‍රස්ථානය හිමිවූනේ මුගලන් තෙරුන්ටයි.

නිවන් මග පෙන්වීමෙන් පමණක් නොව සසුනේ චිරස්ථිති සඳහා කටයුතු කිරිමටද උන්වහන්සේලා ක්‍රියා කලා. භික්ෂුන් වහන්සේ විසින් නුගමනය කළ යුතුයැයි වරක් දෙව්දත් තෙරුන් විසින් ඉදිරිපත් කරන ලද කරුණු 5ක් භික්ෂු ජිවිතයේ නිදහස තහවුරු කරමින් බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කලා. එහිදී දෙව්දතුනට පක්ෂ වූ භික්ෂු පිරිසක් ගයාශිර්ෂයට කැඳවා ගෙන යමින් දෙව්දත් තෙරුන් සංඝයා භේද කරනු ලැබුවා. ඒ අවස්ථාවේ ගයා ශිර්ෂයට වැඩම කළ සැරියුත් හා මුගලන් තෙරුන් වහන්සේ කරුණු වටහා දී පිරිස නැවත බුදුරදුන් වෙත කැඳවා ගෙන අවුත් නිවන් මග සළසා ගන්නට මග පෙන්වූවා.

ශාසනයේ චිරස්ථායි බව පිණිස කැපවීම නිසාත් හැමවිටම වගකීමකින් යුතුව ක්‍රියා කිරීම ගැන ප්‍රසාදය පළකරණු පිණිසත්, පෙර ප්‍රාර්ථනා සමෘද්ධි කිරිම උදෙසාත්, බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රථම සංඝ සන්නිපාතය ඉදිරියේදී සැරියුත් තෙරුන් දකුණත් සව් වශයෙනුත් , මුගලන් තෙරුන් වමත් සව් වශයෙනුත් අගසව් තනතුරු පිරිනැමුනා.



සැරියුත් තෙරණුවන් අතිශයින් නිහතමානී වූ අතර ඉවසීමේ ගුණය නිසාද ප්‍රශංසා ලැබුවා. මුගලන් තෙරණුවන් සෘද්ධී ප්‍රාතිහාර්ය පෑම අතින් අතිශයින් ප්‍රසිද්ධ වුනා.

සැරියුත් තෙරණුවන් පිරිනිවන් පෑමට පෙර, රෝගීව සිටි තම මවගේ ගෙදරට වැඩමකොට ඇයට දහම් දෙසා ඇය දහම් මාර්ගයට යොමු කොට, මවගේ නිවසේදීම ඉල් පුරපසළොස්වක පොහෝ දිනක පිරිනිවන් පෑවා.
මෙහි දැක්වෙන්නේ සැරියුත් මහ රහතන් වහන්සේ පිරිනිවන් පෑවාට පසු උන් වහන්සේගේ ධාතු නිදන්කොට නාලන්දාවේ සෑදූ සාරිපුත්ත ස්ථූපයයි.
Nalanda-sariputta

මගධයේ සංචාරය මරන අතරතුරේ සොරුන්ගෙන් අතවරයකට ලක් වූ මුගලන් තෙරණුවන්ද බුදුරදුන්ගෙන් සමුගෙන පිරිනිවන් පා වදාලා.

No comments:

Post a Comment