Sunday, April 24, 2011

අති පුජ්‍ය පිටිගල ගුණරතන ස්වාමින් වහන්සේ විසින් දේශනා කරනු ලැබූ සබ්බාසව සුත්‍ර පැහැදිලි කිරීම - දෙවන කොටස

සද්ධර්මශ්‍රවනාලාභී ගුණගරුක කාරුණික පින්වතුනි, අපි කලින් සබ්බාසව සුත්‍රය පැහැදිලිකරගන්නට ආරම්භ කළා. ඒ සුත්‍රයේ මුලික අදහස ටික දුරක් පැහැදිලි කරගෙන ගිහිල්ලා යම් තැනක අපි නතර කළා. අද දවසී ඒ මුලික කරුණු ටික පැහැදිලිකිරීමෙන් අනතුරුව ඒ දර්ශනය කියන්නේ කුමක්ද කියල උපමා නිදර්ශන සහිතව පැහැදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. යෝනිසෝමනසිකාරය කියන්නේ කුමක්ද අයෝනිසෝමනසිකාරය කියන්නේ කුමක්ද එය කෙබඳු තැන්වලද යෙදෙන්නේ කියල කතා කරන්න වෙනවා. එහිදී නුපන් ආශ්‍රව උපදින උපන් ආශ්‍රව වැඩෙන මනසිකාරයක් පිළිබඳව කියවුනා. යම් ධර්මයක් මෙනෙහි නොකලයුතුනම් ඒ ධර්මයෝ මෙනෙහි කිරීම. අපි කලින් කතාකලා ඒ අයෝනිසෝමනසිකාරයෙන් යුක්තවීම නිසා ඇතිවන එක ප්‍රතිඵලයක් පිළිබඳව. කාලත්‍රයෙහි අතීතය පිළිබඳව, වර්තමනය පිලිවඳව, අනාගතය පිළිබඳව සැකය කුකුස පිළිබඳව, විචිකිච්චාව පිළිබඳව කියවුනා. අපි දර්ශනය කියල යමක්ද හඳුන්වන්නේ මේ දර්ශනයට එනකොට මෙන්න මේ සැක කුකුස්‌ තියාගන්න පුළුවන්කමක් නැහැ. අපි පැහැදිලිකරලා දෙන්න යන දර්ශනය කියන තැන නිවැරදි උනොත් මේ සබ්බාසව සුත්‍රයේ පැහැදිලිකල ආකාරයට මම අතීතයේ හිටියද? හිටියේ නැද්ද? මම කවුරු වෙලා ඉන්න ඇත්ද? කොහොම කෙනෙක් වෙන්න ඇත්ද? කවුරු වෙලා කවුරු බවට පත්වෙන්න ඇත්ද? කියන අදහස් එන්න විදිහක් නැහැ. එහෙම ඔබට අදහස් එනවනම්, මේ කියල දෙන දේ අර්ථවත් වෙලා නැහැ. ඒ වගේම අනාගතය පිළිබඳවත් මම අනාගතේ උපදිනවා, උපදින්නේ නැහැ, කොහොම කෙනෙක් වෙයිද කවුරු වෙයිද කවුරු වෙලා කවුරු බවට පත්වෙයිද කියල අනාගතය පිළිබඳව අදහසක් එන්න විදිහක් නැහැ දර්ශනය කියන දහම දැකගන්න පුළුවන්කම ලැබුනොත්. වර්තමානය තුලත් මම ඉන්නවද නැද්ද කොහොමද කවුද කොහේ ඉඳල අවදා කොහෙට යනවද කියන මේ අදහස් එන්න විදිහක් නැහැ. යම් ආකාරයෙන් මෙහෙම අදහස් පහලවෙනවද, මේ ආකාරයෙන් මෙනෙහිකරන කෙනාට ලැබෙන ප්‍රතිඵලය කියන්න යන තැනින් තමයි අපි නතරකලේ.

බුදුරජානන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මෙන්න මේ ආකාරයෙන් අපි අතීතය පිළිබඳව අනාගතය පිළිබඳව වර්තමානය පිළිබඳව සක මුසු අදහස් පහල වෙනවනම් අන්න එබඳු කෙනා ඒකාන්තයෙන් මෙන්න මේ දෘෂ්ටි හයෙන් එකකට වැටිලා ඉන්නවා.

-මට ඒකාන්ත වශයෙන් ආත්මයක් ඇත කියන මම ඉන්නවා කියන දෘෂ්ටියක ඉන්නවා. ඒකාන්තයෙන් සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් දෘෂ්ටියක් උපදිනවා.
-එහෙම නැත්නම් මට ආත්මයක් නැහැ, මම කියල කෙනෙක් නැහැ කියල ඒකාන්තයෙන් සත්‍ය වශයෙන් ස්ථිර වශයෙන් දෘෂ්ටියක් උපදිනවා.
-ආත්ම වූ මමම ආත්මයම හඳුනමි කියන දෘෂ්ටියේ ඒකාන්ත වශයෙන්ම සත්‍ය වශයෙන්ම ස්තිරවශයෙන් ඉන්නවා.
-එහෙමත් නැත්නම් ආත්මවූ මම අනාත්මය හඳුනමි යන දෘෂ්ටියේ ඒකාන්ත වශයෙන්ම සත්‍ය වශයෙන්ම ස්ථිර වශයෙන් ඉන්නවා.
-එහෙමත් නැත්නම් අනාත්මවූ මම ආත්මය හඳුනමි ඒකාන්ත වශයෙන්ම සත්‍ය වශයෙන්ම ස්ථිර වශයෙන් මෙබඳු දෘෂ්ටියකට පැමිණෙනවා.
-එහෙමත් නැත්නම් යම් මෙබඳු ආත්ම භාවයක් ඇත්නම් කතාකරන වේදනා විඳින ඒ ඒ තැන්වල පාප පින් පවු විපාක විඳින යම එබඳු ආත්ම භාවයක් ඇත්නම් ඒ ආත්ම භාවය නිත්‍යයි තහවුරුයි සර්වකාලිකයි නොවෙනස්වෙන සුළුයි සහසෘතකයන්ගේ මෙන් නොපිරිහෙන ධර්මතාවයක් නොවෙඅස්වන ආකාරයෙන් පවතින්නේයැයි කියන මෙබඳු සංකල්පයකට පැමිණෙනවා.

මහණෙනි මෙන්න මේ සංකල්පයන්ට පැමිණෙන මේ ආකාරය දෘෂ්ටිගතයක් , දෘෂ්ටි ගහනයක්, දෘෂ්ටි කාන්තාරයක්, සම්මා දිට්ටිය විනිවිද යන දෘෂ්ටි කම්පනයක්, දෘෂ්ටි සංයෝයෝජනයක්, දෘෂ්ටි බැඳුමක්, මහණෙනි මෙබඳු දෘෂ්ටි සංයෝජනයන්ගෙන් යුක්තවූ අස්රුතවත් පුද්ගලයා මිදෙන්නේ නැහැ ජාතියෙන්, ජරාවෙන්, මරණයෙන් සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාසයෙන් නොමිදේ. සියලු දුකෙන් නොමිදේ යැයි මම දේශනා කරමි.

බුදු හාමුදුරුවෝ දේශනා කරනවා මෙබඳු දෘෂ්ටි වාදයකට අපි වැටුනොත් අපි සංසාරයෙන් ජාති ජරා මරණයෙන් මිදීමක් නම් වන්නේ නැහැ. දන අපි මෙන්න මේ දර්ශනයට එළඹෙන තුරු මේ දෘෂ්ටි හයෙන් යම් දෘෂ්ටියක අපි වාසය කරනවා. සමහරවිට වරින් වර ඒවා වෙනස් වෙන්න පුළුවන්. භාවනා කරන වෙලාවට භාවනා කරන පින්වතුන් එක දෘෂ්ටියකට වැටිලා ඉන්න පුළුවන්. එහෙම නොකරන අය, වෙනත් වෙනත් දෘෂ්ටි ජාල වල රැඳිල ඉන්නවා. අපි බොහෝ දෙනෙක් මට ආත්මයක් තියනවා කියන අදහසේ ඉන්න අය. සමහරක් අය සත්වයෙක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ කියන මේ දෘෂ්ටි මාන වලත් ඉන්නවා. මතක තියාගන්න ඕනේ එහෙම නැත කියනකොටත්, ඇත කියනකොටත් අපි නොදැනුවත්වම හෝ අයෝනිසෝමනසිකාරයේ ප්‍රතිඵලය හැටියට යම් දෘෂ්ටියකට වැටිලා තියෙනවා.

ඊලඟට ආත්මවූ මමම ආත්ම සංඥාව හඳුනමි, ආත්ම වූ මමම ආත්මය හඳුනමි කියන මෙබඳු දෘෂ්ටියකට වැටෙනවා. කුමක්ද මෙයින් පැහැදිලි කරන්නේ? අපි සමහර වෙලාවට මම ආත්මකොටගෙන, මම ස්ථිරවම පවතිනවා ඉන්නවා කියන මතයේ ඉඳගෙන ලෝකයද නිත්‍යවූ සහස්රුතවූ පවතින ධර්මතාවයක් හැටියට දකින අවස්ථා තියෙනවා. එබඳු අවස්ථාවන් පිළිබඳව අපි සැලකුවොත් අපි සිහිනයකදී අපි සජීවී ලෝකයක ජීවත්වෙනවා සැරිසරනවා වගේ ගතකරන අත්දැකීමක් අපිට දැනෙනවා. සිහිනයේදී අපි සජීවී බාහිර ලෝකයක් දකිනවා. අපි මේ සැබෑය කියන මේ ලෝකයේ සිදිකරන හැම ක්‍රියාකාරකමක්ම සිහින ලෝකයේදී අපි ඒ ආකාරයෙන්ම ක්‍රියාකරනවා. හැම දෙයකම හැමකෙනෙක්ම හැමතැනකම සජීවී වෙලා. ඔය ආකාරයම අපි මනෝ දර්ශනයන් තුල මවා ගන්න අවස්ථා තියෙනවා. අපි මොහොතකට කල්පාකරලා බැලුවොත් අපේ මතකයන් අවදිකරලා අපි හිතෙන් කතාකරන හිත ඇතුලේ යම් ක්‍රියාකාරකම් කරන අවස්ථා තියෙනවා. රාගික වෙන්න පුළුවන්, ද්වේශ සහගත වෙන්න පුළුවන්. අපි හිතෙන්ම හිතනවා මම අද මෙහෙම ගිහිල්ලා මෙහෙම කරනවා. අපි සම්පුර්ණයෙන්ම හිත ඇතුලෙන් කරන හැටි කරන දෙයක් එක්කම සැලසුම් කරනවා. හිතෙන් ඒ ක්‍රියාවේ යෙදෙනවා. දැන් එතෙන්දි තමා ආත්ම භාවයක ඉන්නවා වගේම අනිත් හැම දේකම ආත්මීය බවක් තමන්ට හසුවෙලා තියෙනවා.

මෙන්න මේ සඳහා පුංචි නිදර්ශනයකුත් තියෙනවා ධම්ම පද අට්ට කතාවේ භාගිනේයිය සංඝරක්ඛිත හාමුදුරුවෝ ගැන. සංඝරක්ඛිත හාමුදුරුවන්ගේ සහෝදරියගේ පුතා තමයි භාගිනේයිය සංඝරක්ඛිත. මේ පොඩි හාමුදුරුවෝ මාමා ළඟ තමයි පැවදි වෙලා හිටියේ. පොඩි හාමුදුරුවන්ට දවසක් රෙදි කඩක ලැබුන. හිතුවා මේ රෙදි කඩ මාමා වෙන ගුරු හාමුදුරුවන්ට පුජා කරන්න. සංඝරක්ඛිත හාමුදුරුවෝ බොහොම අල්පේච්චිත හාමුදුරු කෙනෙක්. තුනසිවුර හැර වෙන සිවුරක් දරන්නේ නැහැ. පොඩි හාමුදුරුවෝ පුජාකළ මේ වස්ත්‍රය භාරගත්තේ නැහැ. ප්‍රතික්ෂේප කලා. පුංචි හාමුදුරුවන්ට ටිකක් අමනාපයක් ඇතිවුනා. මම පුජාකළ පිරිකර මේ හාමුදුරුවෝ භාරගත්තේ නැහ. මාත් එක්ක අමනාපයක් අකමැත්තක් ඇති, ඒක හින්ද වෙන්න ඇති මේක භාර නොගත්තේ. දෝමනස්ස සහගත හිතක් පොඩි හාමුදුරුවන්ගේ හිතේ ඇතිඋනා. දන මේ දෝමනස්ස සහගත හැඟීමත් එක්කම ගුරු හාමුදුරුවන්ට පවන් සලන්න ගත්ත වටහපත අරගන. දන ගුරු හාමුදුරුවෝ ලඟින් ඉඳගන පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවන්ට පවන් සලනවා. පවන් සලන ගමන ඔන්න පොඩි හාමුදුරුවෝ මනෝමය ලෝකයකට යනවා. පොඩි හාමුදුරුවෝ කල්පනා කරනවා, මගේ පිරිකර භාරගන්න බැරිනම් මම මොකටද මෙතන ඉඳල. මම යනවා යන්න ගෙදර. මේ රෙදි කෑල්ල කාටහරි විකුණලා මම එලිස්සියක්ව ගන්නවා. දැන් ඔන්න හිතෙන එළුදෙනක් ගත්තා. දැන් ටිකකලක් යනකොට එළුදෙන පැටව ගහලා දැන් එළුවෝ ගොඩාක් ඉන්නවා. දැන් එළුවෝ රංචුවත් අරගන තණකොළ පිට්ටනි වලට යනවා, කන්න දෙනවා. බොන්න දෙනවා ඔහොම සලකනවා. දැන් එළු පට්ටිය බොහොම ලොකුවෙලා. දැන් ලොකු ව්‍යාපාරිකයෙක්. දැන් ටිකකලක් යනකොට ඔන්න ඔහොම හිත ඇතුලෙන් විවාහයකුත් කරගන්නවා. දැන් නෝන කෙනෙකුත් ගෙනාව, ටික කක යනකොට බබෙකුත් හම්බවෙනවා. දැන් තුන්දෙනාට ගමන යන්න මොකඛරිත් ඕනෙනේ. කරත්තෙකුත් ගන්නවා. දැන් කරත්තෙන් යන හැටි එන හැටි දැන් හිතෙන ඔක්කොම දකිනවා , මුළු ලෝකෙම දැන් සජීවී වෙලා. තමනුත් ආත්මයි ලෝකයත් ආත්මයි. දැන් මෙහෙම කාලයක් යනකොට කල්පනා වෙනවා දැන් කොහොම උනත් කමක් නෑ, මගේ ගුරු හාමුදුරුවෝ මාමානේ අපි යමු බලන්න මේ පුංචි පුතත් අරගෙන. දෙන්න එක්ක කතාකරගෙන නෝනවත් දරුවාවත් කරත්තේ නග්ගගන කරත්තෙත් දක්කාගෙන හාමුදුරුවෝ ඉන්න පන්සල පැත්තට එන්න එනවා. බිරිඳගේ පුංචි ප්‍රමාද දෝෂයකින් දරුවා බිමට වැටෙනවා. කරත්තේ දක්ක දක්ක හිටියේ, ඉතින් තරහා ගියා. අතේ තිබුනේ කෙවිට, කෙවිටෙන් බිරිඳට ගැහුවා. හැබැයි පාර වැදුනේ හාමුදුරුවන්ට. ගුරු හාමුදුරුවන්ටයි වටහපතෙන් පාරක් වැදුනේ. ඉතින් ගුරු හාමුදුරුවෝ කියනවා, ඇවැත්නි බිරිඳට නෙවෙයිනේ ගැහුවේ. මේ ගැහුවේ මටනේ. ඉතින් පුංචි හාමුදුරුවන්ට ලැජ්ජා හිතුනා. අනේ මම කොච්චර උතුම් හාමුදුරුකෙනෙක් ගැනද මේ මේ විදිහට හිතුවේ. උන්වහන්සේ මගේ හිතත් දැකල තියෙනවා නේද කියල උන්වහන්සේට ලැජ්ජා හිතුන. සමාකරවා ගත්තා.

කොහොමහරි මෙන්න මේ පුංචි සිදුවීම තුල අපට කියවෙනවා ලොකු කතන්දරයක්. උන්වහන්සේ මනෝමය ලෝකයක් තුල සම්පුර්ණයෙන්ම සැරිසැරුවා. සිවුරු ඇරලා ගීහින් එළුවෙක් අරගන එළු පට්ටියක් හදල, ගෙවල් හදල විවාහ වෙලා, දරුවන් හදල, කරත්ත අරගන මේ බොහෝ වෙලාවක් සජීවී ලෝකයක මේ හාමුදුරුවෝ සැරිසැරුවා. ඉතින් අපිත් අපේ අතීතය කල්පනා කරලා බැලුවොත් අපිත් දවසකට කි වතාවක් මෙබඳු දෘෂ්ටි ජාලවල දෘෂ්ටි කාන්තාරවල මන්මුලාවෙලා ඉන්නවද කියල හඳුනාගන්න පුළුවන්. මෙන්න මෙබඳු තැන්වලට අපි වැටෙන්නේ අයෝනිසෝමනසිකාරයේ යෙදෙන නිසා. දර්ශනයේ නුවන යෝනිසෝමනසිකාරයේ නොදෙන නිසා.

ඊලඟට තවත් තැනක් තමයි ,මෙතන හරිම පරිස්සම් වෙන්න ඕනේ තෙනක්. අපි හුඟාක් ගැඹුරට බොහොම සියුම්ව භාවනා කරන අය වැටි සිටින දෘෂ්ටියක්. හැම දෙයක්ම බොහොම සියුම්ව අනිත්‍ය බවට වැටහෙනවා. අනාත්ම බවට බලනවා. එන එන අරමුණ, අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන් අනාත්ම වශයෙන් බලනවා. හැබැයි, බලන්නා ඉවර වෙන්නේ නැහැ. බලන්නාත් ඉන්නවා, බලන අනිත්‍ය වශයෙන් අනාත්ම වශයෙන් බලන දේකුත් තියෙනවා. දැන් ටිකක් අපි කල්පනා කරලා බැලුවොත් අපි භාවනා කරන අවස්ථාවල මෙන්න මේ තැන තමයි ඉන්නේ අපි හුඟාක් දෙනෙක්. මේ දර්ශනයට එලඹෙනකන් මෙතන ඉන්නවා. අපිට අසුභ බව පේනවා. අසුභ බව බලන මම ඉන්නවා. ආශ්වාස ප්‍රශ්වාසය පේනවා , පෙනෙන මම ඉන්නවා. දෙතිස්කුනුපය දකිනවා, දකින මම ඉන්නවා. පුද්ගලයා ඉන්නවා. මම ආත්මව ඉඳගන මෙබඳු අනාත්මය දකිමි කියනතැන. ඉතින් අපේ සමාජයේ සමහරවෙලාවට හොඳටම මේ අනිත්‍යය , අනාත්ම බව හොඳටම දැකල ලෝකය ගැන කිසිම ඇල්මක් නැති තැනකට ගියා වෙන්න පුළුවන්. මහා විරාගී තැනකට ආව වෙන්න පුළුවන්. නමුත් අපි නොදනුවත්වහෝ දෘෂ්ටි ජාලයකයි අපි ඉන්නේ. දෘෂ්ටියෙන් අපි මිදිලා නැහැ. ලෝභ ද්වේශ සමහරවෙලාවට එහෙම බලල සම්පුර්ණයෙන්ම සංසිඳිලා වෙන්න පුළුවන්, ධ්‍යාන වලට යන්න පුළුවන් වෙයි. හැබැයි පුද්ගල සංකල්පයෙන් මිදිලා නැහැ. ඉතින් අපි බොහොම පරිස්සමෙන් නිදහස් වෙන්න ඕනේ හඳුනාගන්න ඕනේ දෘෂ්ටියක් තමයි මේ තැන. සමහර තැන් තියෙනවා මම මේවා වැඩිය විස්තර කරන්න උත්සාහවත් වෙන්නේ නැහැ මොකද අපිට හරි දේයි අවශ්‍ය කරන්නේ.

තමාව අනාත්ම කොට දකිනවා. දැන් අපි සමහර වෙලාවට මෙන්න මෙහෙම කරනවා. අපි වාඩිවෙලා ඉන්න ඉරියවුව භාවනා ඉරියවුව හොඳට හිතට හසුවෙනවා. ඔන්න අපි මේක බෙදනවා කෙස් , ලොම්, නිය, දත්, සම, මස, නහර, මේ ආදී වශයෙන් බෙදාගන බෙදාගන ගිහිල්ල ඒවා තුලත් තියෙන්නේ, ඒ එක එක කොටස අරගන අපි බලනවා මෙතන තියෙන්නේ පඨවි ධාතුව, තද ගතිය ආපෝ ධාතුව වැගිරෙන ගතිය තේජෝ ධාතුව උණුසුම් ගතිය වායෝ ධාතුව පිම්බෙන හැකිලෙන ගතිය මෙතන ධාතුවමනේ තියෙන්නේ. ධතුවමනේ ඇත්තේ, ධාතුව පමනක්මනේ ඇත්තේ. දෙතිස් කුණුප පමනක්මනේ ඇත්තේ කියලා අනාත්ම බව දකිනවා. එහෙම අනාත්මය දකින ගමන්ම සමහර වෙලාවට බාහිරවූ අරමුණු ආත්මකොට හසුවෙන අවස්ථා භාවනාවේදී ඔබ අත්දැකලා ඇති ඕනේතරම්. සමහර වෙලාවට අපි ආශ්වාස ප්‍රශ්වාස ආනාපානසති භාවනාව කරගෙන යනකොට හොඳට ආනාපාන සතියට හිත යොමුවෙච්ච බවකුත් තියෙනවා. කයගැන දැනුමක් ඇත්තෙත් නැහැ. කය ගැන අවබෝධයක් ඇත්තෙම නැහැ. එය අතහැරිලා. නමුත් බාහිර වූ විවිධ දේ පිළිබඳව දැනෙන බවක් තියෙනවා. මෙහෙ අනාත්මබව වැටහෙනවා, තවත් පැත්තකින් ආත්ම සංකල්පයට බැඳෙනවා. ඉතින් මෙන්න මෙබඳු දෘෂ්ටි වාද වලින්ද අපිට මිදෙන්න වෙනවා. අයෝනිසෝමනසිකාරයේ ප්‍රතිපල වෙනවා මෙන්න මේ තැනකට අපි පත්වෙන බව.

ඊළඟට තමයි මේ වද වේදනා විඳින කතාබහ කරන පව් පින් විපාක විඳින යම් ආත්ම භාවයක් තියෙනවා. මෙන්න මේ ආත්මභාවය නිත්‍යයි ස්ථිරයි සහසෘතයි කියන මේ අදහස. මේකට තමයි බුදුරජානන්වහන්සේ දෘෂ්ටි සංයෝජන කියල කිවුවේ. දෙති සංයෝජන. දැන් අපි බොහෝ දෙනෙක් ඉන්නේ ගිහි පැවිදි උගත් නුගත් අපේ අතිවරයන් වහන්සේලා පවා දැඩි ආත්මවාදයක ඉන්නවා. මල ගෙවල් වලට ගිහාම අපිට ඇහෙනවා පරලොවට යන ප්රානකාරයෙක් ගැන කතාකරනවා. පරලොවට යන විඤේඤාණයක් ගැන කතා කරනවා. පරලොවයන ආත්මභාවයක්, ආත්මකාරයෙකු ගැන කියනවා. ඉතින් මෙන්න මේ දෘෂ්ටියෙන් තමයි ඒ තැන් වලදී අපිට අහන්න ශ්‍රවනය කරන්න වෙන්නේ. මේ බුදු දහම නොවෙයි. බුදු දහම අපි හඳුනගත්තහම මේ කියන සියලු දෘෂ්ටි වාද වලින් දෘෂ්ටි ජාලවලින් අපිට මිදෙන්න පුළුවන්.මේ කියන සියලු දෘෂ්ටි වාද වලින් දෘෂ්ටි ජාලවලින් මිදෙන ක්‍රමය තමයි අපි දැන් හොයාගන්න හඳුනාගන්න යන්නේ. අපි ඒ දර්ශනය පිළිබඳව කතා කරන ගමන් නැවත වතාවක් අපිට කතාකරන්න ඒ ඒ තැන් වලදී මෙන්න මේ දෘෂ්ටි පිළිබඳව හඳුන්වාදීමක් කරන්න වෙනවා නැවත වතාවක් අවශ්‍යතාවය අනුව. විශේෂයෙන් ඒ දර්ශනය ඔස්සේ යෝගාවචරයන් භාවනාවන් කරගෙන යද්දී ඒ තැන් වලට නොවැටී රැකගන්න ඒ තැන් විශේෂයෙන් හඳුන්වා දෙන්න වෙනවා. ඉතින් ඒවා පිළිබඳව නැවත කතා කරන්න වෙනවා.

අපි ඒ නිසා දැන් මේ පින්වතුන් මතක කරගන්න ඔබ අතීතය පිළිබඳව, අනාගතය පිළිබඳව වර්තමානය පිළිබඳව යම් සැක පහලවෙනවානම් එබඳු සැකයෙන් යුක්ත කෙනා ඒකාන්තයෙන් අනිවාර්යයෙන් ඔබ දන සිටියත් නොදැන සිටියත් මෙන්න මේ දෘෂ්ටි හයෙන් එකකට වැටිලා. එතකොට එතන සැකය මෙතන සක්කායදිට්ඨිය. මෙන්න මෙයින් යුක්ත කෙනා ජාති ජරා මරණයෙන් සෝක පරිදේවයෙන් දුක් දෝමනස්සයෙන් මිදෙන්නේ නැහැ කියන අදහස බුදුරජාණන්වහන්සේ අවධාරණය කරනවා.

ඊලඟට උන්වහන්සේ එකෙන් මිදෙන මඟ දේශනා කරනවා ඊළඟ පියවර විදිහට. ආර්යයන් වහන්සේලාගේ සත්පුරුශයන්වහන්සේලාගේ ඇසුරට ගිය දකින ලද ඇසුරුකරනලද ධර්මයෙහි දක්ෂ හික්මුණු කෙනා අපි එදා පැහැදිලි කලාවූ මෙනෙහි කලයුතු දේ දන්නවා මෙනෙහි නොකළයුතු දේ දන්නවා. මෙනෙහි කලයුතු දේ දන්නා මෙනෙහි නොකළයුතු දේ දන්නා ඔහු යම් දර්මයක් මෙනෙහි නොකළයුතු නම් ඒ ධර්මය ඔහු මෙනෙහි කරන්නේ නැහැ. යම් ධර්මයක් මෙනෙහි කලයුතු නම් ඒ ධර්මය ඔහු මෙනෙහි කරනවා. යම් ධර්මයක් මෙනෙහි කරනකොට නුපන් කාම ආශ්‍රව භව ආශ්‍රව අවිජ්ජා ආශ්‍රව උපදී නම්, උපන්න වූ කාම ආශ්‍රව, භව ආශ්‍රව අවිජ්ජා ආශ්‍රව වැඩෙනවා නම් අන්න එබඳු ධර්මයෝ මෙනෙහි කරන්නේ නැහැ. නතර කරලා දානවා . යම් ධර්මයක් මෙනෙහි කරනකොට නුපන් කාම ආශ්‍රව භව ආශ්‍රව අවිජ්ජා ආශ්‍රව නුපදී නම්, උපන්නා වූ කාම ආශ්‍රව, භව ආශ්‍රව අවිජ්ජා ආශ්‍රව ප්‍රහින වෙනවා නම් අන්න එබඳු ධර්මයෝ මෙනෙහි කරනවා. උන්වහන්සේ දෙෂනාකරනවා ඒ සෘතවත් ආර්ය ශ්‍රාවකයා මෙන්න මෙසේ මෙනෙහි නොකළයුතු දේ මෙනෙහි නොකිරීමෙන් මෙනෙහි කලයුතු දේ මෙනෙහි කිරීමෙන් නුපන් ආශ්‍රව නුපදිනවා උපන් ආශ්‍රවයන් දුරු වෙලා යනවා.

එවිට ඔහු මේ දුකයි කියල නුවනින් මෙනෙහි කරනවා. මෙ දුක්ඛ සමුදයයි කියල මෙනෙහි කරනවා. මෙ දුක්ඛ නිරෝධයයි කියල නුවනින් මෙනෙහි කරනවා. මේ දුක්ඛනිරෝධගාමිණීපටිපදාවයි කියල නුවනින් මෙනෙහි කරනවා. මෙසේ නුවනින් මෙනෙහි කරන ඔහුට තුන සංයෝයනයන් ප්‍රහින වෙනවා. ඒ මොනවද? සක්ඛායදිට්ටි, විචිකිච්චා , සීලබ්බතපරාමාස. මේ තුන් සංයෝජනයන් දුරුවෙලා යනවා. මෙන්න මේ තුන්සංයෝයනයන් දුරුවෙලා යන දැක්මටයි දර්ශනයටයි ඒ ආශ්‍රවයන් දුරුවෙලා යන්නේ දර්ශනයෙන්. දර්ශනයෙන් පහකලයුතු ආශ්‍රවයන් මෙන්න මේවයි කියල උන්වහන්සේ දේශනා කරනවා.

දැන් අපිට විසඳා ගතයුතු කරුණු රැසක් තියෙනවා. යෝනිසෝමනසිකාරය කියල කියන්නේ මොකක්ද? අයෝනිසෝමනසිකාරය කියල කියන්නේ මොකක්ද? අයෝනිසෝමනසිකාරය භාවිතා වෙනකොට නුපන් ආශ්‍රව උපදිනවා උපන් ආශ්‍රව වැඩෙනවා. යෝනිසෝමනසිකාරය භාවිතා වෙනකොටයි නුපන් ආශ්‍රවය නුපදින්නේ, උපන් ආශ්‍රවය දුරුවෙලා යන්නේ. දැන් අරවිදිහෙන් අයෝනිසෝමනසිකාරය භාවිතා වෙනකොට අතීතය අනාගතය, වර්තමානය පිළිබඳව සැක ඇතිවෙනවා. දෘෂ්ටි වලට පත්වෙනවා. දැන් ඒ දෘෂ්ටි වලින් මිදිලා සැක සංකා දුරුකරලා නුවනින් මෙනෙහි කරන තැනට අපි එන්න ඕනේ. නුවනින් මෙනෙහි කරන වැඩ පිළිවෙල මොකක්ද? ඒ නුවනින් මෙනෙහි කලයුතු ධර්මයෝ මොනවාද? දැන් අපි මේවා මේ සුත්‍රය කතාකලාට මේ අදහස සේධන පාඨ ටික පැහැදිලි කලාට අපිට මේ දහම අර්ථවත් උනේ නැහැ. දැන් අපි මේකේ අදහස ප්‍රකට වෙන විදිහෙන් මතුකරගන්න වෙනවා දර්ශනය කියල කියන්නේ මොකක්ද කියල. දැන් අපිට පැහැදිලිඋනා මේ සුත්‍රය අවසානයේදී මේ දුකයි කියල මෙනෙහි කාර්යය යමක් අපිට ලැබෙන්න ඕනේ. මේ දුක්ඛ සමුදායයි කියල මෙනෙහි කරන්න යමක් අපිට ලැබෙන්න ඕනේ. මේ දුක්ඛ නිරෝධයයි කියල මෙනෙහි කරන්න යමක් හම්බවෙන්න ඕනේ. මේ දුක්ඛනිරෝධගාමිණී ප්‍රතිපදාවයි කියල මෙනෙහි කරන්න යමක් හම්බවෙන්න ඕනේ. අපි මෙන්න මේ දහම දකින තැන දක්වාම මේ දැක්ම මේ නුවන අවබෝධය පිණිස අවශ්‍ය කරුණු හොඳින් අහගන්නට ඕනේ, දැනගන්නට ඕනේ, ඉගෙනගන්නට ඕනේ.

No comments:

Post a Comment