Wednesday, September 5, 2012

කල්‍යාණ මිත්‍රයෝ සතර දෙන

අති පූජ්‍ය රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ බෞද්ධයාගේ අත්පොත ග්‍රන්ථයෙන් උපුටා ගත්තකි.

උපකාරක මිත්‍රයා , සමාන සුඛදුක්ඛ මිත්‍රයා, අර්ථඛ්යායි මිත්‍රයා, අනුකම්පක මිත්‍රයා යි කල්‍යාණ මිත්‍රයෝ සතර දෙනෙකි.

උපකාර උවමනා තැනදී අවංකව මෛත්‍රී සහගත සිතින් මිතුරන්ට උපකාර කරන තැනැත්තා උපකාරක මිත්‍රයා ය. ආරක්ෂා කලයුතු අවස්තාවලදී මිතුරා ආරක්ෂා කිරීමය,මිතුරාගේ වස්තුව ආරක්ෂා කිරීමය,විපතේදී පිහිට වීමය,කරුණක් පැමිණි  කල්හි ධනය දීමෙන උපකාර කිරීමය යන මේවා උපකාරක මිත්‍රයාගේ ලක්ෂනයෝය.
මිතුරාට වන සුව දුක, තමාට වන සුව දුක සේ සලකන මිත්‍රයා සමාන සුඛදුක්ඛ මිත්‍රයා ය. තමා ගේ රහස් මිතුරාට කීම ය, මිතුරාගේ රහස් අනෙකෙකුට නොදැන ගන්නට ආරක්ෂා කිරීම ය, විපතේදී හැර නොයාම ය,මිතුර වෙනුවෙන් ජීවිතය උවද පරිත්‍යාග කිරීමට කැමති බව ය යන මේවා සමාන සුඛදුක්ඛ මිත්‍රයාගේ ලක්ෂනයෝය.

දෙලොව යහපත සිදුකර ගැනීමේ මග පෙන්වන්නා වූ සත්පුරුෂයා අර්ථඛ්යායි මිත්‍රයා ය.පාපයෙන් වලක්විම ය, යහපතෙහි පිහිටවීම ය, නොදත් දෑ කියා දීම ය, ස්වර්ගයට මග කියා දීම ය යන මේවා, අර්ථඛ්යායි මිත්‍රයාගේ ලක්ෂනයෝය.

සිය මිතුරාට මවක මෙන් අනුකම්පා කරන්නාවූ තැනැත්තා අනුකම්පක මිත්‍රයා ය. මිතුරාගේ පිරිහීම ගැන කනගාටුවිම ය, දියුණුව ගැන සතුටුවීම ය, දොස් කීම වැලැක්වීම ය, ගුණ කියනවුන්ට පසසිම ය යන මේවා අනුකම්පක මිත්‍රයාගේ ලක්ෂනයෝය.

කල්‍යාණ මිත්‍ර සම්පත්තිය තථාගතයන් වහන්සේ විසින් ඉතා උසස් කොට වර්ණනා කරන ලද්දකි. සියලු දුකින් මිදීමට හා ලෞකික වූ ද ලෝකෝත්තර වූ ද සකල සම්පත්තීන් ම ලැබීමටද කල්‍යාණ මිත්‍ර සේවනය බලවත් හේතුවකි. කල්‍යාණ මිත්‍ර සේවනයෙන් තොරව උසස් සම්පත් ලැබීමට දුෂ්කරය. එබැවින් සකලාර්ථ සිද්ධියට හේතු වන්නාවූ මේ කල්‍යාණ මිත්‍රයින් හැඳින දරුවකු විසින් මවක සේවනය කරන්නාක් මෙන් ආදරයෙන් ඔවුන් සේවනය කල යුතුය යි තථාගතයන් වහන්සේ වදාළ සේක.

කල්‍යාණ මිත්‍රයන් සේවනය කොට සියල්ලෝමසියලු දුකින් මිදී පරම සුන්දර අමා මහා නිර්වාන සම්පත්තියට පැමිනෙත්වා!

තථාගතයන් වහන්සේගේ ධර්මය ලොවෙහි බැබලේවා!

No comments:

Post a Comment