Monday, September 3, 2012

අප භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මයෙහි ගුණ මෙනෙහි කරමු

 

ස්වාක්ඛාත ගුණය 

 

අප භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මයෙහි  මුල, මැද, අග එකසේ අර්ථවත්ය. ඉන් පටිච්ච සමුප්පාදය, චතුරාර්ය සත්‍යය වැනි ගැඹුරු දහම් කොටස් ඉතා ක්‍රමවත්ව ලොවට පහදා දෙනු ලැබ ඇත. කුමන අන්දමේ විමර්ශනයක් කළත් එහි ඌණතාවක් දොසක්, අඩුපාඩුවක් දැක්වීමට නැති හෙයින්ද  කළ හැකි කිසිම විවේචනයක් නැති හෙයින්ද  ස්වාක්ඛාත නම් වන සේක.

සන්දිට්ඨික ගුණය 

 

අප භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මය, මනාව අනුගමනය කිරීමෙන්, නුවණැති සියලු මිනිසුන්ටද, නුවණැති දෙව්වරුන්ටද, නුවණැති බ්‍රහ්මයන්ටද, වර්තමාන භවයෙහිදිම, නිවන් අවබෝධ කළ හැකි හෙයින්, සන්දිට්ඨික නම් වන සේක.

අකාලික ගුණය 

 

අප භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මය, අතීතයේදී නිවන් අවබෝධ කළ හෙයින්ද, වර්තමානයේදී නිවන් අවබෝධ කරන හෙයින්ද, අනාගතයේදී නිවන් අවබෝධ කළ හැකි හෙයින්ද, සර්ව කාලීන වූ ධර්මයක් වන හෙයින්ද, අකාලික නම් වන සේක.

ඒහිපස්සික ගුණය 

 

අප භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මය, එන්න මනා ලෙස අසා, මනා ලෙස කියවා, නිවැරැදිව අනුගමනය කොට බලන්න, නිවන අවබෝධ වෙනවාය කිව හැකි හෙයින්, ඒහිපස්සික නම් වන සේක.

ඕපනයික ගුණය 

 

අප භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මය, ප්‍රායෝගිකව අනුගමනය කරන්නන්, සත් වසරක කාලයක් තුල, කුමන මොහොතක හෝ, සෝතාපන්න ඵල අවබෝධය, සකදාගාමී ඵල අවබෝධය, අනාගාමී ඵල අවබෝධය, අරිහත් ඵල අවබෝධය යන, ඵලාවබෝධයන්ගෙන්, කුමන හෝ මග ඵලයකට, පමුණුවාලන හෙයින්, ඕපනයික නම් වන සේක.

පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි

 

අප භාග්‍යවතුන් වහන්සේ අවබෝධ කර ගත් ශ්‍රී සද්ධර්මය, නුවණැත්තන් තම තමන් විසින්ම, තම තමන්ගෙම ඇස, කණ, නාසය, දිව, ශරීරය, මනස නැමති, ඉන්ද්‍රියන් හය ඇතුලතින්ම, අවබෝධ කළ යුතු වන හෙයින්, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහි නම් වන සේක.

No comments:

Post a Comment