Monday, September 3, 2012

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නයේ ගුණ මෙනෙහි කරමු


 සුපටිපන්න ගුණය

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය ධර්මයට මනාව පිළිපන් බැවින්, ශීල සමාධි ප්‍රඥා යන නිවන් මගට මනාව පිළිපන් බැවින් “සුපටිපන්න”  නම් වන සේක.

උජු පටිපන්න ගුණය

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය , ශීල සමාධි, ප්‍රඥා සහිත උතුම් වූ ආර්ය මාර්ගයට සෘජු ලෙස පිළිපන් බැවින්, එහි ස්ථිරව ගමන් කරන බැවින් ඒකාන්තයෙන් “උජු පටිපන්න” නම වන සේක. යම් ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සසුනෙහි පිළිපන් පුද්ගලයෙක් උතුම් වූ චතුරාර්ය සත්‍යයන් මාර්ග ප්‍රඥාවෙන් දකීද ඒ සත්පුරුෂ වූ ශ්‍රාවකයන් වහන්සේ වනාහි පොළොවෙහි මැනවින් පිහිටි ඉන්ද්‍රඛීලයක් සිවු දිගින් හමනා සුළඟට නොසෙල්වියහැකි යම්සේද එසේ වූ සෘජු බවට උපමා කර කිව හැකි වෙයි. මෙසේ හෙයින් ශ්‍රාවක සංඝ රත්නය වනාහි ඒකාන්තයෙන් “උජු පටිපන්න” වන සේක.

ඥාය පටිපන්න ගුණය

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය උතුම් වූ “නිර්වාණ” ධර්මයට පැමිණි බැවින් ඒ සාක්ෂාත් කරනලද බැවින් “ඥාය පටිපන්න” නම් වන සේක.

සාමීචි පටිපන්න ගුණය

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය වනාහි ගරු කිරීමට සුදුසු වූ ශීල සමාධි ප්‍රඥා යන ආර්ය මාර්ගයෙහි බැසගත් බැවින් “සාමීචි පටිපන්න” නම් වන සේක.

ආහුනෙය්‍ය ගුණය

යුගල වශයෙන් සතර දෙනෙක්ද පුද්ගල වශයෙන් අට දෙනෙක්ද වූ සෝවාන්, සකෘදාගාමි,අනාගාමි, අරහත් මාර්ග පල සහිත, ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය ඉතා දුර සිට ගෙනවිත් පිළිගන්වන දානයට, පූජාවට සුදුසු බැවින් “ආහුනෙය්‍ය” නම් වන සේක.

පාහුණෙය්‍ය ගුණය

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය තමා වෙත පැමිණි විට තමා සතු ප්‍රණීත දෙයින් සංග්‍රහ සත්කාර පූජා කිරීමට සුදුසු බැවින් “පාහුණෙය්‍ය” නම් වන සේක.

දක්ඛිණෙය්‍ය ගුණය

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය පරලොව පිණිසද ප්‍රර්ථනා සිද්දිය පිණිසද කර්ම පල අදහා දන් දීමට සුදුසු බැවින්, දීමෙහි ආනිසංස මහත් පල මහානිසංස කිරීමෙහි සමත් වන බැවින් “දක්ඛිණෙය්‍ය” වන සේක.

අංජලි කරණීය ගුණය

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය දොහොත් මුදුන් දී වැඳීමට, ඇඳිලි බැඳ වන්දනාවට, ගරු සත්කාරයට සුදුසු බැවින් “අංජලි කරණීය” වන සේක.

අනුත්තරං පුඤ්ඤක්‌ඛෙත්තං ලෝකස්ස ගුණය

ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ ආර්ය මහා සංඝ රත්නය වනාහි ලොවට උතුම් පින් කෙත වන බැවින් “අනුත්තරං පුඤ්ඤක්‌ඛෙත්තං ලෝකස්ස” නම් වන සේක.

No comments:

Post a Comment